Latestදේශීය

පොපි මල් සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්

සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටුවා ඇති පළමු සහ දෙවන ලෝක යුධ සටන්වලදී දිවි පිදූ හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ස්මාරකය අභියස දී ගෞරවාන්විතව පවත්වන ලදී.

​මෙම ස්මාරකය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ප්‍රධානතම යුද ස්මාරකවලින් එකක් වන අතර, වාර්ෂිකව Remembrance Day (නොවැම්බර් 11 ට ආසන්නතම ඉරිදා) දින මෙහිදී ජාතික සැමරුම් උත්සවයක් පවත්වනු ලැබේ.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය ස්මාරකය වෙත පොපි මල් කළඹ තැන්පත් කර දිවි පිදූ හමුදා සාමාජිකයින් සිහි කරමින් පුෂ්පෝපහාර දැක්වීය.

මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් පළමු ලෝක යුද්ධ සමයේ සිට මේ දක්වා දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයින් අනුස්මරණය කිරීම සහ ඔවුන්ගේ උදාර කැපවීමට ගෞරව දැක්වීම මෙම වාර්ෂික සැමරුමේ ප්‍රධාන අරමුණ විය.

පළමු ලෝක යුද්ධයෙන් දිවි පිදූ සන්නද්ධ හමුදා සාමාජිකයින් සිහිකිරීම සඳහා පොපි මල් දිනය මහා බ්‍රිතාන්‍යය විසින් 1919 සිට සමරනු ලබන අතර, මෙහිදී පොපි මල (Poppy) ප්‍රධාන සංකේතය බවට පත්ව ඇත.

පොපි මල් සැමරුම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය හා සන්නද්ධ සේවාවන් සමඟ එක්ව සංවිධානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයා වයිෂ් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ත්‍රිවිධ හමුදාපතිවරු, විශ්‍රාමික ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදේශීය තානාපතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *