කිරින්දදී හමුවූ අයිස් වලට ජාවාරමට සම්බන්ධ 5ක් අත්අඩංගුවට
කිරින්ද අඳගලවැල්ල වෙරළේදී ඉකුත් 12 වැනිදා අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ගැඹුරු මුහුදේ සිට මෙරටට රැගෙන ආ මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාලයේ ජාවාරම්කාරයන් 05 දෙනකු සමග ට්‍රෝලර් යාත්‍රාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් පෙරේදා (15දා) අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදාවේ සහාය ඇතිව මෙම සැකකරුවන් සමග මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටුව ද සිය භාරයට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමත් විය.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවෝ ගන්දර තංගල්ල කිරින්ද ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම සැකකරුවන් ට්‍රෝලර් බෝට්ටුවෙන් ගැඹුරු මුහුදට ගොස් ඉරාන නෞකාවකින් මෙම මත්ද්‍රව්‍ය තොගය ලබාගෙන ඇත.
පසුව එම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට දකුණින් කිරින්ද මුහුදු තීරයට කිලෝමීටර් 4 ක් ආසන්නයට ගෙනැවිත් තවත් කුඩා බෝට්ටුවකට පටවා තිබේ.
කිරින්දේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මේ වනවිට ජාවාරම්කාරයන් 12 ක් පොලිස් භාරයේ පසුවන අතර ඔවුන් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.
රුපියල් කෝටි 400 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 329 ක් කිරින්ද මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් විමර්ශන පැවැත්වේ.
කිරින්ද මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ‘කසුන් පුතා’ ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් පස්දෙනා නාකොටික් විශේෂ විමර්ශන ඒකකය මගින් තිස්සමහාරාම අධිකරණයට ඊයේ (16දා) ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 වැනිදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් හිරන්දි කුරේ මහත්මිය නියෝග කළාය.
පසුගියදා කිරින්ද මුහුදේදී රුපියල් කෝටි 400 ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 329 ක් සමග සැකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු අනුව බහුදින ධීවර යාත්‍රාවේ සිට එක්දින ධීවර යාත්‍රාවෙන් ගොඩබිමට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ‘කසුන් පුතා’ ධීවර යාත්‍රාව ඊයේ උදෑසන මාතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව එම සැකකරුවන් නාකොටික් විශේෂ විමර්ශන ඒකකයට භාරදීමෙන් අනතුරුව එම සැකකරුවන් ඊයේම තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා එම සැකකරුවන් කොළඹට රැගෙන ගොස් තිබේ.
@දිවයින

