ශක්තිමත් විදේශ සම්බන්ධතා සමගින් රජය ඉදිරියට යනවා – විජිත හේරත්
ඉතාලිය සමග ප්‍රථම වරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළේ මෙම රජය බලයට පත්වීමෙන් පසුව බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) පාර්ලිමේන්තුවේ පැවැති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ අයවැය විවාදයට එක්වෙමිනි.
ඉතාලිය සමග අවබෝධතා ගිවිසුමක් හරහා දේශපාලන සම්බන්ධතා ශක්තිමත් කළ බවත් ස්විස්ටර්ලන්තය සමග ද වසර 7 කට පසුව නැවත සම්බන්ධතා ආරම්භ කළ බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.එසේම ජපානය ,පිලිපීනය, සමග වසර 7ක සිට කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නොපැවති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම කෙටි කාලය තුළ එම රටවල් සමග ද සබඳතා ආරම්භ කිරීමට හැකි වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
තවද එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග ද වසර 11 ට පසු නැවත සබඳතා ආරම්භ කළ බවත් මේ වනවිට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්තක් දක්වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එසේම එම රාජ්‍යයේ සංචාරයකට ජනාධිපතිවරයාට ආරාධනා ලැබුන බවත් ආයෝජන අවස්ථාවන් සඳහා එම රාජ්‍යයේ නායකයින් රැසක් අවස්ථා කිහිපයකදීම මෙරටට පැමිණී බවද හෙතෙම පැවසීය.
ගතවූ වසරක කාලය තුළ රාජ්‍ය සබඳතාවන් හරහා ආර්ථීක, දේශපාලනික, පාරිසරික , සමුද්‍රීය මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව නව ගිවිසුම් 70ක් පමණ අත්සන් කළ බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.එසේම ලතින් ඇමරිකානු රටවල් සමග දුර්වල සබඳතා පැවති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඇන්ටිගුවා , බාබුවා සහ බෙලීස් යන රටවල් සමග නව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට මෙම කෙටි කාලය තුළ හැකි වූ බවද පෙන්වා දුන්නේය.

