මාදැල් කරමාන්තකරුවෝ ධීවර අමාත්‍යංශය වටලයි
මාදැල් කර්මාන්තය සඳහා ට්‍රැක්ටරයට සවිකරන වින්ච් යන්ත්‍රය භාවිතයට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (17දා) මාදැල් කර්මාන්තකරුවෝ මරදානේ පිහිටි ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වූහ.
ලබන ජනවාරි 01 වැනිදා සිට ට්‍රැක්ටරයට සවිකරන වින්ච් යන්ත්‍රය භාවිතය තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මාදැල් කර්මාන්තකරුවෝ මරදාන පොලිසිය ඉදිරිපිට සිට ධීවර අමාත්‍යාංශය දක්වා පාගමනින් ගොස් එම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා මෙසේ විරෝධතාවේ නිරත වූහ. මෙහිදී විරෝධතාකරුවෝ මෙසේ කියා සිටියහ.
“මේ වන විට රට පුරා මාදැල් 889ක් ලියාපදිංචි කර තිබෙනවා. මාදැල් කර්මාන්තයට නව නීති ගෙනාවාට අපේ අකමැත්තක් නෑ. නමුත් වින්ච් යන්ත්‍රය තහනම් කළොත් අපේ කර්මාන්තය සම්පූර්ණයෙන් වැටෙනවා.
ඒ වගේම මාදැල් කර්මාන්තයේ යෙදී සිටින්නේ ඉතා ශක්තිමත් අය නෙමේ. වින්ච් යන්ත්‍රය තහනම් කරනවා නම් ඒ සඳහා විකල්පයක් හඳුන්වා දෙන්න.”
පැයකට අධික කාලයක් විරෝධතාවේ යෙදී සිටි මාදැල් කර්මාන්තකරුවෝ මේ පිළිබඳව සොයාබලා සාධාරණය ඉටුකර දීමට ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා දැනුවත් කරන බවට අමාත්‍යාංශ නිලධාරීන් පොරොන්දු වීමෙන් පසු උද්ඝෝෂණය නවතා විසිර ගියහ.
@දිවයින

