උතුරු නැගෙනහිරට නව දේශපාලන විසඳුමක් අවශ්‍යයි – ජනපති කියයි
උතුරු සහ නැඟෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ නියෝජිතයන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ පැවති හමුවකදී ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.
පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී සඳහන් කළේ, උතුරු සහ නැඟෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට තවදුරටත් පැරණි දේශපාලන විසඳුම් සුදුසු නොවන හෙයින්, ඒ සඳහා නව දේශපාලන විසඳුමක් කරා යොමු විය යුතු බව රජය විශ්වාස කරන බවයි.
උතුරේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ඕනෑම ව්‍යාපෘතියකට තම පක්ෂයේ නොමඳ සහාය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙහිදී සඳහන් කළහ. ජාතිවාදයට එරෙහිව ආණ්ඩුව ගන්නා ඕනෑම තීරණයකට දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය දැක්වීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා එහිදී පැවසුවේය.
උතුරු සහ නැඟෙනහිර ජනතාව ප්‍රාදේශීය වශයෙන් දීර්ඝ කාලයක සිට මුහුණ දෙන ධීවර සහ ඉඩම් ගැටලු, යටිතල පහසුකම් සහ සංවර්ධන අවශ්‍යතා ආදිය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. එහිදී මන්ත්‍රීවරු මතු කළ ඇතැම් ගැටලුවලට ඉදිරියේදී විසඳුම් ලබා දෙන ලෙස එම අවස්ථාවේදීම ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සී.වී.කේ. සිවඥානම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. රාසමානික්කම්, පී. සත්‍යලිංගම්, ජී. ශ්‍රී නේෂන්, එස්. ශ්‍රී ධරන්, ටී. රවිහරන්, කේ. කෝඩීෂ්වරන්, කේ.එස්. කුගදාසන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහත්වරු ද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
@දිනමිණ

