Latestදේශීය

රනිල්ට නඩු පවරනවා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් ඔහුට එරෙහිව ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතාට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බැවින් ඉහළ අධිකරණයක නඩු පැවරීමට කටයුතු කරන බව සඳහන් කරමින් ඒ බව දන්වා සිටියේය.

ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ධුර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය පුද්ගලයකු බව කියන හිටපු ජනාධිපතිගේ ලේකම්වරයා වන සමන් ඒකනායක මහතාගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස නීතිඥවරුන් ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් ඊයේ (19) අධිකරණයේදී කරුණු දැක්වීම සිදු වූ අතර එහිදී එම ලේකම්වරයා වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලා තිබූ විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම ඉල්ලා අස් කරගන්නා බව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට දැන්වීය.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට කරන ලද ඉල්ලීම නිෂ්ප්‍රභ කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ එම ලේකම්වරයාගේ දියණියගේ දරු ප්‍රසූතියට යෑම සඳහා විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටිය බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ, එම ලේකම්වරයාට විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් දක්වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙලෙස සඳහන් කළේය.

“ස්වාමිනී, මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු අවසාන අදියරේ පසුවන බැවින් ලබන මාසය වන විට විමර්ශන අවසන් කළ හැකි බව දක්නට ලැබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 50 අධික ප්‍රමාණයක් මේ වනවිට ලබා ගෙන තිබෙනවා. විමර්ශන අවසන් අදියරේ. ලබන මාසය වනවිට විමර්ශන අවසන්. ඉහළ අධිකරණයක නඩු පැවරීමට පියවර ගන්නවා. විදේශ ගමන් තහනම් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින හිටපු ජනාධිපති ලේකම්වරයා ප්‍රධාන මූල්‍ය පාලකවරයා. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානියා ප්‍රශ්නයක් ලිපිය විමර්ශනය කිරීම පමණයි සිදු කිරීමට තිබෙන්නේ. අධිකරණ නියෝග ප්‍රකාරව විමර්ශන කරමින් පවතිනවා. එම ලේඛනය ව්‍යාජ ලේඛනයක් බවයි පැමිණිල්ලේ ස්ථාවරය. එම නිසා ලේඛනය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදු කරනවා.” යනුවෙනි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙලෙස සඳහන් කළේය.

“අද දින පැමිණිල්ල කැඳවන්නේ නිශ්චිත කාරණයකට. නඩුව කැඳවන දින විමර්ශන ප්‍රගතිය දැනුම් දෙන්න. ඉල්ලීම අස්කර ගැනීමට කරන ඉල්ලීමට අනුව ඉල්ලීම නිෂ්ප්‍රභ කරනවා” යනුවෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *