කෝටි 400ක මත්ද්‍රව්‍ය උණාකූරුවේ ශාන්තගේ
ශ්‍රී ලංකාවට දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගය උණාකූරුවේ ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් ඒවා බවත් ඒවායේ මෙහි නියෝජිතයා සමගි ජන බලවේගය පක්‍ෂයේ පන්නල සඳලංකා හිටපු පළාත් පාලන අපේක්ෂකයා බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කළ විමර්ශනවලදී හෙළි වී ඇත.
මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගය සඳලංකාව ආසන සංවිධායකවරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙම සැකකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුට රුපියල් ලක්‍ෂ 25ක මුදලක් ගෙවා ඇත.
මෙම සැකකරු මේ ආකාරයට අවස්ථා ගණනාවකදී මත්ද්‍රව්‍ය තොග පිටින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවත් ඒ සඳහා බෝට්ටුකරුවන්ට රුපියල් ලක්‍ෂ ගණන් මුදල් ගෙවා ඇති බවත් මේ වනවිට අනාවරණය වී තිබේ. සැකකරුගේ බිරිඳ ගාල්ල රත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය සම්බන්ධයෙන්ද මත්ද්‍රව්‍ය නාශක අංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර සැකකරුගේ බැංකු ගිණුම් සහ වත්කම් පිළිබඳව ද වෙනම විමර්ශනයක් පවත්වාගෙන යයි. මෙම සැකකරු 2023 වසරේ පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජනබලවේගයෙන් සඳලංකාවට තරග කිරීමට ඉදිරිපත් වූ අයෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාව සමග ඒකාබද්ධව කළ වැටලීමකදී මෙම ට්‍රෝලර් යාත්‍රාව සමග සැකකරුවෝ 06 දෙනෙක් ශ්‍රී ලංකාවට දකුණු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 261 සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115ක් සොයා ගන්නා ලදී. මෙම මත්ද්‍රව්‍ය විශාල මලු 18ක අසුරා තිබී ඇත. තවද පිස්තෝල 2ක්ද, බෝට්ටුවේ තිබී සොයාගෙන තිබේ.

උණාකූරුවේ ශාන්ත නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ශ්‍රී ලංකාවට එවා ඇති අතර ඒවා සමගි ජනබලවේග ආසන සංවිධායකවරයා වෙත භාරදීමට නියමිතව තිබිණි.
මෙම මත්ද්‍රව්‍ය රටපුරා බෙදා හැරීමට සූදානම් කර තිබූ අතර ඒවා සජබ ආසන සංවිධායකවරයා විසින් අලෙවි කිරීම සඳහා සිය භාරයට ගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගෙන සිටින සජබ ආසන සංවිධායක ඇතුළු සැකකරුවන් 07 දෙනා රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මෙහෙය වීමෙන් විමර්ශන පැවැත්වෙයි.
මේ අතර සැකකාර ආසන සංවිධායකවරයාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජනබලවේගය කටයුතු කර තිබිණි.
@දිවයින

