මහින්ද ඇයි නාවේ? එනවයි කියලා නෑවේ?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 80 වැනි උපන් දිනය පසුගියදා යෙදී තිබුණු අතර, ඒ වෙනුවෙන් නුගේගොඩ පැවති ජන රැලියට ඔහු සහභාගී වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ. මහනුවර දළදා මාලිගාවට ගිය අවස්ථාවේදී තමන් අනිවාර්යයෙන්ම නුගේගොඩට එන බව ඔහු ප්‍රකාශ කර තිබුණද, කාල්ටන් නිවසට පැමිණෙන අමුත්තන් මගහැරිය නොහැකි බව පවසමින් ඔහු එම සහභාගීත්වය මගහැරියේය.එහෙත් දේශපාලන විචාරකයන්ට අනුව ඔහු එම රැලියට සහභාගී නොවීමේ සැබෑ අරමුණ ඊට වඩා වෙනස් එකක් බව දේශපාලන විචාරකයින් පෙන්වාදී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී 2.5%ක ප්‍රතිඵලයක් ලැබූ නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමනේ නව ආරම්භයක් ලෙස මෙම නුගේගොඩ රැලිය සංවිධානය කර තිබුණි. මහින්ද රාජපක්ෂ මහතා එහි ගියේ නම් මාධ්‍ය සහ ජනතා අවධානය සම්පූර්ණයෙන්ම ඔහු වෙත යොමු වී, නාමල්ට හිමි විය යුතු ප්‍රමුඛත්වය ගිලිහී යාමට ඉඩ තිබිණි.
එබැවින් පුත්‍රයාගේ දේශපාලන වැඩසටහනට බාධාවක් නොවීම සඳහා ඔහු මෙම තීරණය ගත් බව පැහැදිලි වේ.
වයස අවුරුදු 24දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයෙන් ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා වසර 55ක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියයි. එදා සිටම ඔහු පර්සි හෝ මහේන්ද්‍ර යන නම් වෙනුවට ‘මහින්ද’ යන නාමය දේශපාලන සන්නාමයක් ලෙස ගොඩනැගීමට සමත් විය. එකල රාජපක්ෂ පවුලේ දීප්තිමත්ම චරිතය වූ ජෝර්ජ් රාජපක්ෂට වඩා වෙනස් දේශපාලන ගමනක් යාමට ඔහු මුල සිටම සැලසුම් කළේය.
වර්ෂ 1977 එක්සත් ජාතික පක්ෂ රැල්ලට හසුව පරාජය වීමෙන් පසු වසර 12ක් නිහඬව සිටියද, ප්‍රේමදාස යුගයේදී මානව හිමිකම් වෙනුවෙන් ජිනීවාහි පෙනී සිටිමින් සටන්කාමී චරිතයක් ලෙස යළි ඔහු කරළියට පැමිණියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක පවුලේ දේපළක් ලෙස සැලකූ යුගයක, පක්ෂයේ දෙවැනියා ලෙස කටයුතු කිරීමට ඔහු කැමැත්තෙන් පසුවිය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයක් නොතැබුවද, ධීවර හා කම්කරු වැනි අමාත්‍යාංශ හරහා පක්ෂය තුළ නැතුවම බැරි චරිතයක් බවට පත්වීමට ඔහුට හැකි විය.
පසුව ලක්ෂ්මන් කදිරගාමර් මහතා අගමැති කිරීමට චන්ද්‍රිකා මැතිනියට අවශ්‍ය වුවද, මහා සංඝරත්නයේ සහය ඇතිව එම තීරණය වෙනස් කරවා අගමැති ධූරය ලබා ගැනීමට රාජපක්ෂ මහතා සමත් විය. 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කරමින් බලයට පැමිණි ඔහු, මුලදී එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කළද, පසුව ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා සමඟ එක්ව යුද්ධය ජයග්‍රහණය කරමින් රටේ වීරයෙකු බවට පත්විය.
කෙසේ වෙතත්, යුද ජයග්‍රහණයෙන් ලද ජනප්‍රියත්වය ඕනෑම දෙයක් කිරීමට ලැබුණු අවසරයක් ලෙස සලකා කටයුතු කිරීම ඔහුගේ පිරිහීමට හේතු විය.
සරත් ෆොන්සේකා සිරගත කිරීම, අගවිනිසුරුවරිය දෝෂාභියෝගයකින් ඉවත් කිරීම, ව්‍යවස්ථාව වෙනස් කොට තෙවන වරටත් තරග කිරීම සහ බැසිල්, චමල්, නාමල් ඇතුළු පවුලේ ඥාතීන් පරිපාලනයට යොදා ගැනීම ජනතා කලකිරීමට හේතු විය. දූෂණ චෝදනා සහ පවුල් පාලනය හේතුවෙන් 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ ඔහු පරාජයට පත්විය.
යහපාලන රජයේ බිඳවැටීමත් සමඟ නැවත අගමැති ලෙස බලයට පැමිණියද, යළිත් පවුල් පාලනය සහ ආර්ථික කළමනාකරණයේ දුර්වලතා හේතුවෙන් රට බරපතල අර්බුදයකට ලක්විය. ජනතා විරෝධය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පලා යාමට සිදුවූ අතර, අරගලකරුවන්ගෙන් බේරී මහින්ද රාජපක්ෂ මහතාටද බලය අතහැරීමට සිදුවිය. දෛවයේ සරදමකට මෙන් අවසානයේ රට භාර ගැනීමට ආරාධනා කිරීමට සිදුවූයේ ඔහුගේ දීර්ඝකාලීන දේශපාලන ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ මහතාටය.
වර්තමානයේ ජාතික ජන බලවේගය බලයට පැමිණ ඇත්තේ මෙම පැරණි දේශපාලන සංස්කෘතිය ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ බැවිනි. එක් කලෙක රටේ ජනප්‍රියම නාමය වූ ‘රාජපක්ෂ’ නාමය අද වන විට නාමල් රාජපක්ෂට දේශපාලන අභියෝගයක් වී තිබේ. යුද්ධය නිමා කළ නායකයා ලෙස ඉතිහාසගත වුවද, පසුකාලීන ක්‍රියාකලාපයන් එම ගෞරවය පළුදු වීමට හේතු වී ඇත. 80 වැනි වියේ පසුවන ඔහුට දැන් ඇත්තේ මැදමුලන නිවසට වී විවේකීව කාලය ගත කිරීම බවත්, නාමල් රාජපක්ෂ පියාගේ ප්‍රතිරූපයෙන් මිදී ස්වාධීන දේශපාලන ගමනක් යා යුතු බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
@සන්ඩේ ටයිම්ස් ඇසුරෙන්

