Latestදේශීය

මාස 10ට අපනයන ආදායම ඇ.ඩො.බි. 14.4 පසුකළා – මංගල විජේසිංහ

මෙම වසරේ ගතවූ මාස 10 තුළ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ඇමරිකානු ඩොලර් මිලියන14400 ක සීමාව ඉක්මවන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ , අද (25)  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව මුල් මාස 10 තුළ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11373 ක් සහ සේවා අංශයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන3000 ක් ඉක්මවා ඇති බවත් එම ආදායම පසුගිය වසරවලට සාපේක්ෂව සියයට 6ක වර්ධනයක් බවත්  හෙතෙම සඳහන් කළේය.

මෙම වසරේ ඉලක්ක කර ඇති අපනයන ආදායමෙන් සියයට අසූවක ප්‍රමාණයක් මේ වනවිට සාක්ෂාත් කර ගැනීමට හැකි වී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.එසේම අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමටත් අපනයන වෙළඳපොළ තුළ තරඟකාරීත්වය ඇති කිරීමටත් ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය.

තවද 2036 වර්ෂය වනවිට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36 දක්වා වර්ධනය කර ගැනීමට අපේක්ෂිත බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

එමෙන්ම මෙම වසරේදී අපනයන බදු සහන ලබා දීම සඳහා තීරු බදු ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට රජය අවධානය යොමු කර ඇති බවත් කෘෂිකාර්මික අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා පැවසීය. ඒ අනුව තේ, පොල් ක්ෂේත්‍රවල අපනයනකරුවන්ගේ ගැටලු විසඳාගැනීමට අපනයන සංවර්ධන අමාත්‍ය සභාව සමඟ සාකච්ඡා පැවැත්වීමටත් රබර් කර්මාන්තය දියුණු කිරීමට අපනයනකරුවන් ඉදිරිපත් කර ඇති එම යෝජනාවලියට ධනාත්මක සහයෝගයක් ලබා දීමට අපේක්ෂිත බවද ඒ මහතා පැවසීය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට රජය රු. මිලියන 80000ක මුදලක් වෙන් කර ඇති බවත්  කාර්මික හා ඉලෙක්ට්‍රොනික අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *