Latestදේශීය

සජබ අපේක්ෂක මීට පෙරත් කුඩු බෝට්ටු දෙකක් ගෙන්වලා

මත්කුඩු සමග දකුණු මුහු තීරයේදී නාවික හමුදා භාරයට ගත් බෝට්ටුවට ගෙන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පන්නල ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයෙන් සඳලංකාව කොට්ඨාසයට ඉදිරිපත් වූ වසන්ත ජයකොඩි නැමති 44 හැවිරිදි පුද්ගලයා මීට පෙර අවස්ථා දෙකකදී මත්කුඩු රැගත් බෝට්ටු දෙකක් ගොඩබිමට රැගෙන ඒමේ සිද්ධිවලට සම්බන්ධ බවට තොරතුරු මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් හෙළි කරගෙන ඇතැයි වාර්තා වේ.

උනාකූරුවේ ශාන්ත නමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුට අයත් බව කියන රුපියල් කෝටි 500කට අධික වටිනාකමක් ඇති අයිස් හා හෙරොයින් කිලෝ 376ක් ජාත්‍යන්තර මුහුදේ සිට ගොඩබිමට රැගෙන එමින් තිබූ බහුදින යාත්‍රාවක් නාවික හමුදාව විසින් අල්ලාගෙන පසුගිය 20 වැනිදා තංගල්ල ධීවර වරායට රැගෙන එන ලදි. එම යාත්‍රාවේ අයිස් කිලෝ 261යි ග්‍රෑම් 30ක්ද, හෙරොයින් කිලෝ 115යි ග්‍රෑම් 143ක්ද සමඟ රිවෝල්වරයක් සහ පිස්තෝලයක් තිබී සොයා ගන්නා ලදි. මේ ගිනි අවි දෙක පාකිස්තානයෙන් මත්කුඩු තොග ගන්නා විට ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන් දිරිගැන්වීමක් ලෙස දෙන බව සඳහන්ය.

මේ යාත්‍රාවේ ස්කීපර් ඇතුළු 06 දෙනෙක් සිට ඇති අතර, ඒ සියලු දෙනාම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් තංගල්ල ධීවර වරායේදීම අත්අඩංගුවට ගත්තේය.

ඔවුන් සතුව තිබී චන්ද්‍රිකා තාක්ෂණ සහිත දුරකතනයක් මෙන්ම ජංගම දුරකතනයක්ද හමුවී තිබිණි. විදේශගතව සිටින උනාකූරුවේ ශාන්ත විසින් එම චන්ද්‍රිකා දුරකතනයට ඇමතුම් දෙමින් බෝට්ටුව ගමන් කළ යුතු මාර්ගය ගැන එක් අවස්ථාවකදී ස්කීපර්ට උපදෙස් දී ඇති බවද අනාවරණය වී ඇත.

සජබ අපේක්ෂක වසන්ත ජයකොඩි මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට වූ තොරතුරු හෙළිවී ඇත්තේ ස්කීපර්ගෙන් සහ එහි සිටි තවත් අයකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය. සජබ අපේක්ෂක විසින් මේ අයට දුරකතන ඇමතුම් පවා දී තිබී ඇත. ස්කීපර් සහ අනෙක් සැකකරු පවසා ඇත්‍තේ මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඒමට බෝට්ටුව සූදානම් කිරීමට රුපියල් ලක්ෂ 25ක් වසන්ත ජයකොඩි විසින් දුන් බවයි. ඒ, බෝට්ටුවට අවශ්‍ය ඉන්ධනද ගමන් කරන අයට අවශ්‍ය ආහාර හා ජලයද ලබා දුන් බවයි.

මේ තොරතුරු හෙළිවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් එදිනම රාත්‍රී කාලයේදී පන්නල, සඳලංකාව, තඹකන්දේ පදිංචිකරුවෙක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු පළාත් පාලන මැතිවරණ‍යට පන්නල ප්‍රාදේශීය සභාවට සජබයෙන් අපේක්ෂකයෙන් ලෙස ඉදිරිපත් වී සිටි බව අනාවරණය වන්නේද අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

එම අත්ඩංගුවට ගැනීම සිදු වනතුරුම මේ සැකකරු මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නෙක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හෝ ඔහු ජීවත්වන ප්‍රදේශයේ පොලිස් ස්ථානවල නිලධාරීන් පවා දැන සිට නැත. එහෙත් ඔහු විශාල වශ‍යන් මුදල් වියදම් කරමින් දේශපාලන කටයුතුවල නිරතව සිට ඇති බව පෙනී ගොස් ඇත. අවස්ථා කිහිපයකදීම ඔහු මැතිවරණ කිහිපයකටම ඉදිරිපත් වී ඇති බවට පවා තොරතුරු පොලිසියට ලැබී තිබේ.

ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි. එම මත්ද්‍රව්‍ය රැ‍ගෙන ආ බෝට්ටුව හා තමාට සම්බන්ධයක් නොමැති බවද ඔහු පවසා ඇත. බෝට්ටු හිමිකරු විසින් තමා‍ගෙන් රුපියල් ලක්ෂ 25ක් අතමාරුවට ඉල්ලා ගත් බව පමණක් ඔහු පවසා තිබේ.

ඒ සඳහා තමාව සම්බන්ධ කර දුන්නේ යැයි පුද්ගලයන් දෙදෙනකුගේ තොරතුරු ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන්ට පවසා ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනාද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගිය දා (22) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනා සඳලංකාව සහ ගන්දර පදිංචිකරුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ තොරතුරු අනාවරණය කළේය.

සැකකරු වසන්ත ජයකොඩි නමැත්තා කුමක් පැවසුවත් ඔහු මේ මත්කුඩු ජාවාරමට ඍජුවම සම්බන්ධව සිට ඇති බවට තොරතුරු විද්‍යාත්මක සාක්ෂි මඟින්ද අනාවරණය වෙමින් ඇති බවද පැවසේ.

ඔහුගේ තොරතුරු මත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙ‍දෙනාගෙන්ද ප්‍රශ්න කිරීමේදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වන බව වාර්තා වේ. මොහුව එම ප්‍රදේශයේ බොහෝ අය හඳුන්වන්නේ ‘අයියා’ යැයි කියා බවද සඳහන්ය.

මෙම මත්කුඩු තොගය රැගෙන ඒමට ‘දිල්හාර පුතා’ නමැති බහුදින යාත්‍රාව පිටත්ව ඇත්තේ මීගමුව ධීවර වරා‍යෙන් පසුගිය ඔක්තෝබර් මස 21 වැනිදාය.

ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමේ මුවා‍වෙන් මේ බහුදින ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත ගොස් මේ මත්කුඩු තොගය සහිත පාර්සල් 18ක් භාරගෙන ඇත්තේ ඉරාන යාත්‍රාවකිනි. ඒ දෙපාර්ශ්වය අතර සිදු වූ අනන්‍යතා තහවුරු කිරීමකින් අනතුරුවයි.

නාවික හමුදාව මෙම බහුදින යාත්‍රාව සම්බන්ධයෙන් දින ගණනාවක් තිස්සේ ඇස ගසාගෙන සිට ඇත. ඒ, කල්තියා ලද බුද්ධි තොරතුරකට අනුවය. ඒ අනුව නාවික හමුදාවේ නෞකාවක් එම බහුදින යාත්‍රාව හඹා‍ගොස් මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන ඇත. ස්කීපර් ඇතුළු 06 දෙනෙක් එහි ඒ වනවිට රැඳී සිට ඇත. ඔවුන් තොඩුවාව, ගන්දර, ගාල්ල, කුඩාවැව, ඉරණවිල ප්‍රදේශවල පදිංචි අවුරුදු 33, 42, 45, 53, 54, 57 වයස්වල පසුවන්නන්ය.

ගැඹුරු මුහුදට ගොස් අල්ලන මාළු ගබඩා කර තබාගැනීමට මේ යාත්‍රාවේ ඇති ශීත කාමරයේ මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබී ඇති බව නාවික හමුදාව සඳහන් කරයි. මේ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යා යුතු ස්ථානයක් ගැන කිසිවක් ඒ වන විටත් ඔවුන්ට උපදෙස් ලැබී තිබී නැති බවද විමර්ශනවලින් අනාවරණයවී ඇත.

ඒ සම්බන්ධයෙන් උපදෙස් චන්ද්‍රිකා දුරකතනය ඔස්සේ උනාකූරුවේ ශාන්ත‍ගෙන් ලැබීමට නියමිතව තිබී ඇත්තේ අවසාන මොහොතේදීය. නාවික හමුදාව විසින් මේ මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින යාත්‍රාව කොටු කර ගන්නේ දකුණට ආසන්න ජාත්‍යන්තර මුහුදට ආසන්න ගැඹුරු මුහුදේදීය. මේ යාත්‍රාව ගොඩබිම් මුහුදු සීමාවට කිට්ටු කිරීමත් සමඟ වෙනත් කුඩා යාත්‍රාවලින් පැමිණ මෙහි ඇති මත්ද්‍රව්‍ය රැ‍ගෙන යෑමට ජාවාරම්කරුවන් සැලසුම් කර තිබෙන්නට ඇතැයි සැකයක්ද පවතී.

ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරයි.

අත්අඩංගුවේ සිටින වසන්ත ජයකොඩි ඇතුළු සැකකරුවන් ලබන 26 වැනිදා දක්වා රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්ෂණ පවත්වන බවත් ඉදිරියේදී තවත් බොහෝ තොරතුරු හෙළි කරගැනීමට හැකිවනු ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශ්වාස කරයි.

@Lanks Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *