Latestදේශීය

පුරා විද්‍යා පුවරු ගැලවීමේ සිද්ධිය සමථයකට

වාලච්චේන ප්‍රදේශයේ ස්ථාන 07කින් ගලවාගෙන ගිය පුරාවිද්‍යා පුවරු නැවත එම ස්ථානවල සවිකිරීමට වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස පොරොන්දු වීමෙන් පසු එම සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් හයදෙනකු රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, උප සභාපතිවරයා ඇතුළු සිව්දෙනකු අධිකරණයට භාරවී තිබිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එක් අයකු රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට වාලච්චේන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

එමෙන්ම සිද්ධියට අදාළ නඩුව ලබන මස 15 වැනිදා යළි කැඳවීමට ද මහෙස්ත්‍රාත් අධිකරණය මෙහිදී නියෝග කළේය.

වාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් ද අධිකරණය වෙත පැමිණ සිටි අතර මෙම එකඟතාවට ඔවුන් ද කැමැත්ත පළකර ඇත.

ඒ අනුව ගලවා දැමූ පුරාවිද්‍යා පුවරු එම ස්ථානවලම නැවත සවිකිරීමේ පොරොන්දුව මත සැකකාර වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 06 දෙනා මුදාහැරීමට අධිකරණය කටයුතු කර තිබේ.

වාලච්චේන පොලිසියේ නිලධාරීන් ද අධිකරණය වෙත පැමිණ සිටි අතර සියලු පාර්ශ්වයන් මෙම එකඟතාවට පැමිණීමෙන් පසු සිද්ධිය සමථයකට පත්වී ඇත.

වාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මගින් කිහිලිවට්ට හන්දිය, පල්ලන්චේන, කොන්ඩුකච්චේන සහ සරාවලී යන ප්‍රදේශවල පුරාවිද්‍යා පුවරු සවිකිරීමට කටයුතු කර තිබුණේ මීට සති කීපයකට උඩදීය.

මෙම පුවරු සවිකිරීමෙන් පසු එහි පැමිණි වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති සුදාකරන්, උප සභාපති ඇතුළු පුද්ගලයන් පිරිසක් තම ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව පුවරු සවිකර ඇති බව කියමින් ඒවා ඉවත් කිරීමට කටයුතු කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිරාන් පුරාවිද්‍යා කාර්යාල නිලධාරීන් වාලච්චේන පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කරන ලදී.

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයකු වාලච්චේන පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් අතර අනෙක් පිරිස වාලච්චේන අධිකරණය වෙත භාරවූහ.

මෙම පිරිස විසින් ගලවාගෙන ගිය පුරාවිද්‍යා පුවරු කෝරලේපත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ සඟවා තිබියදී පොලිසිය විසින් ඊයේ සොයාගෙන තිබිණි.

නැඟෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මඩකළපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් වීරරත්න මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

මෙම සංඥා පුවරු ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාලච්චේන පොලිසියට පසුගියදා පැමිණිල්ලක් ද ගොනු කර තිබිණි.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී එක් සැකකරුවකු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවස්තු පවතින ස්ථානවල දිශානතිය සලකුණු කරමින් දිශා පුවරු සහ සංඥා පුවරු සවිකිරීම පසුගිය නොවැම්බර් මස 03 වැනිදා ආරම්භ කර තිබිණි. එම සවිකරන ලද පුරාවිද්‍යා සංඥා පුවරු අදාළ ප්‍රාදේශීය සභාවේ බලධාරීන් විසින් පසුගිය 22 වැනිදා ගලවා ඉවත් කර තිබේ.

එමෙන්ම වාලච්චේන ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ඇතිව සංඥා පුවරු සවිකිරීමට සැක කරුවන්ට නියෝගකර තිබෙන බව සඳහන් වේ.

වාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් අදාළ පුවරු ඉවත්කර තිබුණේ සිය ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව ඒවා සවිකර ඇති බව පවසමිනි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *