ඉන් අනතුරුව “දිට්වා” ඉන්දියාවට යයි
“දිට්වා” සුළි කුණාටුවේ බලපෑමෙන් ශ්‍රී ලංකාවට පසුගිය දින කිහිපයේ ඇති වූ ගංවතුර හා නායයෑම් නිසා මේ වන පුද්ගලයන් 334ක් මියගොස් තවත් 370 දෙනෙක් අතුරුදන් වී තිබේ.
මෑත ඉතිහාසයේ මෙරටට ඇදහැලුණු වැඩිම වර්ෂාපතනය ලෙස ගැනෙන ඉකුත් දින කිහිපයේ පැවැති වර්ෂාපතන තත්ත්වය හමුවේ පවුල් 309,607ක පුද්ගලයන් ලක්ෂ 11කට අධික පිරිසක් ආපදාවට ලක්ව ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.
ආපදාව හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 1,494ක් ශ්‍රී ලංකාව පුරාම ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් සේවාවන් සපයන අතර පවුල් 55,747ක් පුද්ගලයෝ 196,790ක් මෙම සුරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටිති.
අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 52ක් මියගොස් පුද්ගලයන් 105ක් අතුරුදන්ව ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 52ක් මියගොස් 42 දෙනකු අතුරුදන්ව තිබේ. ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ හා ආපදා කළමනාකරණ අංශවල මැදිහත් වීමෙන් විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
වර්ෂාව අඩු වුවත් කැලණි ගඟේ හංවැල්ල ජල මිනුම් මාපකය අඩි 10.9කට ආසන්නයේ පවතින අතර මේ නිසා හංවැල්ලට පහළ ඇති ප්‍රදේශවල තවදුරටත් ජල මට්ටම ඉහළ යෑමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනය හෙට (02) දින පස්වරුව දක්වා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ කරන ලදි.
කඳුකරය ඇතුළු ප්‍රදේශ කිහිපයක නායයෑම් සිද්ධීන් රැසක් වාර්තා වන අතර සොරණාතොට, වැලිමඩ, අලවතුගොඩ, නිල්අඹේ, කැප්පෙටිපොළ, බණ්ඩාරවෙල, මාතැටිල්ල, බුලත්කොහුපිටිය, දේදුගල, හසලක, පමුණුපුර ඇතුළු ප්‍රදේශ රැසක ගම් පිටින් නාය යෑමේ සිද්ධීන් වාර්තා වේ.
සුළි කුණාටු තත්ත්වයක් හෙට අනිද්දා නැවත ශ්‍රී ලංකාවට එන බවට වන ප්‍රචාර පිළිබඳ විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යා කසුන් පැස්කුවල් මහතා ප්‍රකාශ කළේ, ක්ෂණිකව සුළි කුණාටු ඇති නොවන බවත් ඒ සඳහා පියවර ගණනාවක් පසුකළ යුතු බවත්ය. ඉදිරි සතිය තුළ එවැන්නක් දැකිය නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළේය. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන්කර ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.
@දිනමිණ

