බහලුම් 5000ක් වරායේ හිරවෙලා
රේගු නිෂ්කාශන කටයුතු ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරාය තුළ ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සහිත ආනයනික බහාලුම් තොගයක් සිරවී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටින්නේ කොළඹ වරායේ CICT අංගණයේ සහ අනෙකුත් අංගණවල බහාලුම් 5,000 කට ආසන්න සංඛ්‍යාවක් පමණ ගොඩගැසී තිබෙන බවය. නමුත්, රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා ප්‍රකාශ කර සිටියේ එවැනි බහාලුම් විශාල තොගයක් ගොඩගැසී නොමැති බවය. රථවලට පටවන ලද භාණ්ඩ සහිත බහාලුම් 400 ක් පමණද රේගු නිෂ්කාශන කටයුතු සඳහා වරායේ පෝලිම් තුළ රඳවාගෙන සිටීමට සිදුවී ඇතැයිද බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
“දිට්වා“ සුළි කුණාටු තත්ත්වයත් සමග කොළඹ වරාය තුළට නැව් ඇතුළත් නොකළ බවද, වරාය තුළ පැවැති නැව්ද, වරායෙන් පිටත නැංගුරම් දැමීමට කටයුතු කෙරුණු බවද එම සංගමය කියයි. දින තුනක කාලයක් වරායේ කටයුතු සිදු නොවීම නිසා බහාලුම් නිදහස් කිරීමේ ප්‍රමාදයන් සිදුවූ බවද එම සංගමය කියයි. කෙසේ නමුත්, ඉදිරි නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ සහිත විශාල බහාලුම් ප්‍රමාණයක් රටට ආනයනය කෙරෙන බවද එම සංගමය පවසන්නේය.
කොළඹ වරායේ රේගු නිෂ්කාශන මධ්‍යස්ථාන තුනක් පැවැතියද, ඉන් එක් මධ්‍යස්ථානයක් පසුගිය සුළි කුණාටු තත්ත්වයත් සමග ගංවතුරින් යටවූ බවත්, අයහපත් කාලගුණික තත්ත්වයෙන් පසුව නිෂ්කාශන කටයුතු සිදු කෙරුණද පෙර පරිදිම වරාය තුළ නිතරම බහාලුම් 2,250 ක් 2,300 ක් පමණ රථවලට පටවා තිබීම නිසා නිෂ්කාශන ප්‍රමාදයන් සිදුවූ බවද බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසා සිටින්නේය.මෙලෙස රේගු නිෂ්කාශන කටයුතු සිදු කිරීමේදී ඒ ඒ භාණ්ඩවලට අදාළව අනෙකුත් රාජ්‍ය ආයතන නිලධාරීන්ද සිටිය යුතු වූවද, එම නිලධාරීන්ගේ වාර්තා ප්‍රමාදය, පැය 24 පුරා සේවයේ යෙදීමට නිලධාරීන් නොමැතිවීම, රේගුවේ නිලධාරීන් ප්‍රමාණවත්ව නොසිටීම, රේගු අංගණ බහාලුම් පරීක්ෂාවට ප්‍රමාණවත් නොවීම යන කරණා නිසා නිෂ්කාශන කටයුතු ප්‍රමාදවී ඇතැයිද එම සංගමය සඳහන් කරයි.
ආහාර පරීක්ෂණ වාර්තාවක් ලැබීමට දින තුනක පමණ කාලයක් ගතවන බවද එම සංගමය කියයි.දිනකට අවම වශයෙන් බහාලුම් 500 ක් වත් නිදහස් කළ යුතු වූවත්, මේ වනවිට දිනකට නිදහස් කෙරෙන්නේ බහාලුම් 100 ත් 150 ත් අතර ප්‍රමාණයක් බවද එම සංගමය පවසන්නේය.
දෙසැම්බර් මාසයේ ආරම්භයත් සමග බහාලුම් තදබදයක් ඇතිවන බවට බහාලුම් ප්‍රවාහන රථ සංගමය විසින් අදාළ අංශවලට දැනුම්දී ඊට විසඳුම් සොයා ගන්නා ලෙස දැනුවත් කර තිබූ බවද එම සංගමය කියයි.
මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවාගෙන් අප විමසීමක් කළෙමු.
“පසුගිය දවස්වල ටර්මිනල් වැඩ කරන්නේ නැතිව තිබුණා දවස් තුනක්. ඒ දවස්වල එකතු වෙච්ච කන්ටේනර් ඇති. වරාය තුළ සාමාන්‍ය කන්ටේනර් ප්‍රමාණයක් ඇති. හැබැයි 5,000 ක් නම් තියෙන්න විදිහක් නෑ.’’ යැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේය.
“අපි හරිනම් ගේට්ටුවෙන් එළියට යද්දී තමයි පාස් එක දෙන්න ඕනේ. ඇති වන තදබදය සහ ගේට්ටුවේ එන ප්‍රමාදය වළක්වා ගැනීමට ඔවුන්ට අවස්ථාව දීලා තියෙනවා ඇතුළුවෙන අවස්ථාවේදීම ගේට් පාස් එක ගන්න. ඊට පස්සේ ගේට් පාස් එක අරගෙන ගිහින් පටවගෙන එළියට යනතුරු ඒ ගොල්ලෝ කියන්නේ හිරවෙලා කියලා. ඔන්න ඔය විදිහට තමයි බහාලුම් 400ක් තියෙනවා නම් තියෙන්න පුළුවන්. හැබැයි පාරේ එහෙම තදබදයක් නෑ. හැබැයි ටර්මිනල් ඇතුළේ ඇති. ඒවා තාම ඒ ගොල්ලෝ පටවාගෙනත් නෑ. හැබැයි ඒ ගොල්ලෝ ඒකට පාස් එක අරගෙන ඇති එළියට යන්න.’’ යැයිද ඔහු පැවැසීය.
ග්‍රේලයින් 01 රේගු අංගණය ගංවතුරට යටවූ බවත්, මේ නිසා එම අංගණයේ පරීක්ෂා කරන ලද බහාලුම්ද පසුගිය දිනවල RCT අංගණයේ පරීක්ෂාවට යෙදවූ බවද, ග්‍රේලයින් 01 තිබෙන බහාලුමක් RCT හිදී පරීක්ෂා කිරීමේදී පැය දෙකක, තුනක කාලයක් ගතවන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. එම නිසා සුළු ප්‍රමාදයක් තිබෙන බවද ඔහු පැවැසුවේය.
නොවැම්බර් අග, දෙසැම්බර් අග වැඩිම බහාලුම් ප්‍රමාණයක් ලැබෙන කාලය බවත්, මේ නිසා දෙසැම්බර් මාසයේදී යම් තදබදයක් බලාපොරොත්තු වන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
@අරුණ

