මගීන් 202ක් සමග ගුවන්යානය ආරක්ෂිතව කටුනායකට ගොඩබැස්සුවේ මෙහෙමයි
කටුනායකින් ගුවන්ගත කර විනාඩි කිහිපයක් ඇතුළත උඩු ගුවනේදී කාර්මික දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් සේවයට අයත් යානයක් ඊයේ (17) අලුයම ආරක්ෂිතව කටුනායක ගුවන්තොටුපළට ගොඩබස්වනු ලැබීය. එලෙස ගොඩබස්වනු ලැබුවේ කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් දක්වා පියාසර කරමින් තිබූ TK 733 නමැති යානයයි. මෙය ප්‍රංශයේ නිෂ්පාදිත 330 එයාර් බස් වර්ගයේ විශාලතම මගී ගුවන් යානයකි.
මගීන් 202ක් හා කාර්ය මණ්ඩලයේ 10 දෙනකු රැගත් ගුවන්යානය කටුනායක ගුවන්තොටුපළින් පෙරේදා (16දා) රාත්‍රී 10ට තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර වෙත ගමන් කිරීමට ගුවන්ගත වී තිබුණි. යානය ගුවන්ගත වී ටික වේලාවකට පසුව ගුවන් යානයේ රෝද පද්ධතිය ආශ්‍රිතව කාර්මික දෝෂයක් හටගෙන ඇති බව නියමුවන්ට වැටහී ගොස් තිබේ. රෝද නිසි ලෙස යානය තුළට හැකිලී නොතිබීම මෙම දෝෂයට හේතුවයි. ඒ අනුව යානය යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට තීරණය කෙරුණ අතර එම අවස්ථාව වනවිට ගුවන් යානය ගමන් ගත්තේ හලාවතට අඩි 4000 ක් ඉහළ අහසේය. කෙසේ වෙතත් යානයේ ඉන්ධන දහනය කිරීම සඳහා ගුවන් යානය පැය දෙකකට අධික කාලයක් හලාවත අහසේ වට කිහිපයක් ගමන් කිරීමට සිදුවිය.
හලාවත මුහුදු ප්‍රදේශය වෙත ගුවන් යානය රැගෙන ගොස් අඩි 4,000 ක පමණ උසකින් නොට්ස් 140 ක පමණ වේගයකින් පියාසර කරමින්, ගුවන් යානයෙහි වූ ඉන්ධන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රමාණය ඉතිරි කර ගෙන ඉතිරි සියල්ල මුහුදට ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.
මේ සඳහා පැය දෙකකට අධික කාලයක් මෙම ගුවන් නියමුවා විසින් ගත කර තිබුණි.
තුර්කි ගුවන් යානය හලාවත අවට අහසේ සැරිසරන විට හලාවත සහ අවට ප්‍රදේශවල ජනතාව අතර දැඩි කුතුහලයක් මෙන්ම බියක් ද ඇති වී තිබේ.
මෙම යානය හලාවත සහ අවට ප්‍රදේශවල ඉතාමත්ම පහතින් රාත්‍රී 10.30 සිට රාත්‍රී 12 පසුවන තෙක්ම වට 20 කට වැඩි ප්‍රමාණයක් ගමන් කළ බව ජනතාව පවසති. යානය මෙසේ ගුවනේ සැරිසැරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි රැසක් සිදුකර ඇත. පොලිස් හදිසි ඇමතුම් අංශය සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් පාලක මැදිරියෙන් විමසු විට සඳහන් කර ඇත්තේ එම යානය කටුනායකින් ගුවන්ගත වූවක් බවත්, යානය නැවත ගොඩබැස්සවීම සිදු කරන බැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත්ය.
පසුව ඊයේ අලුයම 12.28 ට මෙම ගුවන් යානය ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට යානයේ නියමුවා සමත් වී තිබුණි. එහෙත් මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ ගිලන් රථ, ගිනි නිවීම් රථ, වෛද්‍ය කාර්ය මණ්ඩල, ගලවා ගැනීමේ භටයන් මෙන්ම මීගමුව කළපුව තුළද විශේෂ බෝට්ටු සහ ගලවා ගැනීමේ භටයන් ස්ථාපිත කර තිබුණි. ගුවන් යානයේ සිටි මගීන් ආරක්ෂිතව ඉවත් කර ගුවන් තොටුපොළ අවට හෝටල් වෙත යොමු කරමින් පවතින අතර ගුවන් යානය අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර තිබේ.
මෙම සිද්ධිය හේතුවෙන් ගුවන් තොටුපළෙන් පිටත් වීමට නියමිතව තිබූ අනෙකුත් ගුවන් ගමන් ද ප්‍රමාදයට ලක්ව තිබේ.
@දිවයින

