කලාසූරී ලතා වල්පොලගේ දේහය නිදහස් චතුරස්‍රයට
හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදුකර බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, දේහය මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට කටයුතු කරමින් පවතියි
නිදහස් චතුරස්‍රයේ තැම්පත් කිරීමෙන් පසුව උදෑසන 10.00 සිට සවස 2.00 වන තුරු දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව හිමිවෙයි.

පස්වරු 2.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ලතා වල්පොල මහත්මිය පසුගිය 27 වනදා පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
මියයන විට ලතා වල්පොල මහත්මිය 91 වන වියේ පසුවුණි.
වර්ෂ 1934 දී උපත ලැබු රීටා ජෙනවිට් ප්‍රනාන්දු පසුකාලීනව ලතා වල්පොළ යන නමින් ජනාදරයට පාත්‍ර වුණි.
ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරනු ලබන්නේ වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.
ඇය මේ වනවිට ගීත හයදහසකට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති අතර ඒ අතර විදෙස් භාෂා ගීත ද ඇතුළත්ය.
සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ යන අන්වර්ථ නාමයෙන් ද ලතා වල්පොල මහත්මිය හදුන්වනු ලැබීය.
1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබා දී තිබේ.
සරසවි සම්මාන 5ක්, ජනාධිපති සම්මාන 2ක්, කලාශුරි සම්මානය ඇතුළු සම්මාන රැසකින් ලතා වල්පොල මහත්මිය පිදුම් ලැබුවේ ඇය සතු වූ සුවිශේෂි ගායන කෞශල්‍යය හේතුවෙන්ය.
@දිනමිණ

