Latestවිදේශීය

ඇමරිකාවට අභියෝග කරමින් උතුරු කොරියාව මිසයිල අත්හදා බලයි

ඊයේ (4) ජපාන මුහුද දෙසට උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිලයක් එල්ල කළ බවට දකුණු කොරියානු රජය නිවේදනය කර ඇත.

ඇමරිකාව විසින් වෙනිසුවෙලාව ආක්‍රමණය කර පැය 24ක් ඉක්මවා යාමට පෙර උතුරු කොරියාව මෙම අත්හදා බැලීම සිදු කර ඇතැයි බටහිර පුවත් පත් වාර්තා කර සිටි. උතුරු කොරියාව මෑත වසරවලදී සිය හමුදා අත්හදා බැලීම් සැලකිය යුතු ලෙස වේගවත් කර ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන තැනීමට අවසර ලබා දීමෙන් පසු උතුරු කොරියානු සමාජවාදී රජය තම බැලස්ටික් මිසයිල අත්හදා බැලීම නොවැම්බර් මාසයේ සිට යලි උත්සන්න කරනු ලැබිණි.

අද දිනයේ එල්ල වූ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් දකුණු කොරියාව හා ජපානය තම කණස්සල්ල පල කර ඇත්තේ දකුණු කොරියානු නව ජනාධිපති ලබන සතියේදී චීන සංචාරයක් සිදු කිරීමට ද නියමිතව ඇති තත්වයක් තුළ වේ.

 “අපගේ හමුදාව ඉරිදා පෙ.ව. 7:50 ට උතුරු කොරියානු දේශසීමා අවට සිට නැගෙනහිර මුහුද දෙසට දියත් කරන ලද බැලස්ටික් මිසයිල යැයි අනුමාන කරන ලද ප්‍රක්ෂේපණ කිහිපයක් අනාවරණය කර ගත්හ,” දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය වෙත පවසා සිටියේය. ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ද සැක සහිත බැලස්ටික් මිසයිලයක් දියත් කිරීම අනාවරණය කර ගත් බව වාර්තා කළ අතර එය දේශීය වේලාවෙන් පෙ.ව. 8:08 ට පමණ පතිත වී ඇත. එහි බලපෑම් කලාපය නිශ්චිතව දක්වා නොමැත. “උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල සංවර්ධනය අපේ රටේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සාමය සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන අතර එය කිසිසේත්ම දරාගත නොහැකි ය,” යයි ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි වාර්තාකරුවන්ට පැවසීය.

Pyongyang හි මෙම මිසයිල අත්හදා බැලීම් සිදු කරනුයේ උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් මෑතකදී හමුදා පෙරමුණේ ඉතා ක්‍රියාකාරීව සිටින බැවිනි. ඔහු විශේෂයෙන් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් නිෂ්පාදනය කරනු ලබන ස්ථානයකට ගොස්, දේශීය මිසයිල නිෂ්පාදනය වැඩි කිරීමට නියෝග කල බව වාර්තා වේ, දිගු දුර කෲස් මිසයිල දෙකක් අත්හදා බැලීම ද ඔහු අධීක්ෂණය කරනු ලැබූ බවත්, සහ ඔහුගේ නවතම නිෂ්පාදනයක් වන බහු රොකට් දියත් කරන්නන්ගේ මිසයිල බලය ගැන ද (two long-range cruise missiles and multiple rocket launchers) අදහස් පල කර ඇති බවට මාධ්‍ය වාර්තා කර සිටි.

ජනවාරි 03 වන සෙනසුරාදා, කිම් ජොන් උන් මාර්ගෝපදේශක උපායික අවි නිෂ්පාදනයට සම්බන්ධ හමුදා උපකරණ කර්මාන්ත ශාලාවකට ගිය බව එරට පාලක කම්කරු පක්ෂ නිල KCNA ප්‍රවෘත්ති ඒජන්සිය ද වාර්තා කළේය. එම මූලාශ්‍රයන්ට අනුව එහි වත්මන් නිෂ්පාදන ධාරිතාව 250% කින් වැඩි කිරීමට පහසුකම් සපයන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර හමුදා විශ්ලේෂකයින්ට අනුව, උතුරු කොරියාවේ අරමුණ වන්නේ එහි නිරවද්‍ය ප්‍රහාරක හැකියාවන් වැඩිදියුණු කිරීම, වොෂින්ටනයට සහ දකුණු කොරියාවේ අවි බලයට අභියෝග කිරීම සහ තම මිත්‍ර පාක්ෂික රුසියාවට අපනයනය කිරීමට පෙර එම අවි යලි අත්හදා බැලීම වේ. RAND නම් THINKTANKS ආයතනය විසින් 2020 දී කරන ලද අධ්‍යයනයකට අනුව, උතුරු කොරියානු නවතම කාලතුවක්කු පද්ධති මගින් දකුණු කොරියානු අගනුවර වන සෝල් වැනි ජනාකීර්ණ ප්‍රදේශයක් ඉලක්ක කළහොත් පැයක් තුළ පුද්ගලයින් 10,000 ක් මරා දැමිය හැකියාවක් පවතී.

ජනවාරි 3 වන සෙනසුරාදා අලුයම එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට පහර දී එහි නායක නිකොලස් මධුරෝ අත්තනෝමතික ලෙස අල්ලා ගත් අතර, පසුව ඔහුව “මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය” පිළිබඳ චෝදනාවලට මුහුණ දීම සඳහා එක්සත් ජනපද භූමියට ගෙන යාම උතුරු කොරියාව තරයේ හෙලා දකිනු ලැබිණි. දකුණු කොරියාව සමග එක් වී උතුරු කොරියානු රජය පෙරලා දැමීමට වොෂින්ටනය විසින් සැලසුම් කර ඇති බවට උතුරු කොරියාව ට්‍රම්ප් පරිපාලනයට චෝදනා එල්ල කරනු ලබයි. එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරිදා ඇමරිකානු මෙහෙයුම උතුරු කොරියානු තරයේ හෙළා දුටු අතර, එය “වෙනිසුවෙලාවේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්” ලෙස ද හැඳින්වීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය “වෙනිසියුලාව තුළ එක්සත් ජනපදය විසින් සිදු කරන ලද ආධිපත්‍ය ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින” බව උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා සිටියේ, “එක්සත් ජනපදයේ කුරිරු සහ ම්ලේච්ඡ ස්වභාවය නැවත වරක් සනාථ කරන කදිම උදාහරණයක් ලෙස “ද සඳහන් කරමින්ය.මේ අතර  උතුරු කොරියාවට පහර දීම වෙනිසියුලාවට පහර දීම තරම් පහසු නොවන බවට 2023 දී දකුණු කොරියාවට පලා ගිය කියුබාවේ උතුරු කොරියානු තානාපති කාර්යාලයේ හිටපු දේශපාලන උපදේශක ලී ඉල්-කියු ෆේස්බුක් සටහනක ලියා පල කර ඇත.

මේ අතර දකුණු කොරියානු ජනාධිපති Lee Jae Myung හෙට දිනයේ චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සමුළුවක් සඳහා චීනය බලා පිටත්ව යාමට පැය කිහිපයකට පෙර මෙම උතුරු කොරියානු මිසයිල ප්‍රහාරය සිදු වීමද විශේෂ සිදු වීමක් ලෙස මාධ්‍ය වාර්තා කර සිටි. උතුරු කොරියාව සමඟ චීනයට ඇති සමීප සබඳතා සැලකිල්ලට ගෙන බීජිංහි බලපෑම මත උතුරු කොරියානු සමාජවාදී රජය සමඟ සබඳතා වැඩිදියුණු කිරීමට දකුණු කොරියාව දරන උත්සාහයන්ට චීනයේ සහය අත්‍යවශ්‍ය වේ.

මධ්‍යස්ථවාදියෙකු වන දකුණු කොරියානු ජනාධිපති Lee Jae Myung උතුරු කොරියාව සමඟ ආතතීන් ලිහිල් කිරීම සඳහා පෙනී සිටින අතර උතුරු කොරියානු පුවත් පත් පරිශීලනය කිරීමට දකුණු කොරියානුවන්ට පනවා තිබු තහනම ඉවත් කරමින් පසුව මාධ්‍ය වෙත පවසා සිටියේ ඒවා කියවීමෙන් මහජනතාව “කොමියුනිස්ට්වාදීන්” වනු ඇතැයි තමා නොසිතන බවයි. ඒ අනුව මෙම සතියේ සිට, දකුණු කොරියානුවන්ට රොඩොං සින්මුන් Rodong Sinmun(උතුරු කොරියානු කම්කරු පුවත් පත) ලබා ගත හැකි ආකාරයෙන් නිදහසේ ප්‍රවේශ විය හැකිය. මීට පෙර, උතුරු කොරියානු පාලක පක්ෂයේ නිල පුවත් පත වන මෙම “කම්කරු පුවත් පත” කියවීමට පූර්ව අවසරය සහ කෙනෙකුට එසේ කිරීමට අවශ්‍ය වූයේ මන්දැයි යන්නද පැහැදිලි කිරීමක් දකුණු කොරියානු බලධාරීන්ට සිදු කිරීම අත්‍යවශ්‍ය විය.

මේ අතර විදේශ මාධ්‍ය වාර්තා කරනුයේ උතුරු කොරියානු පාලක කොරියානු කම්කරු පක්ෂය වසර පහකට පසුව පවත්වන පළමු පක්ෂ සම්මේලනය ඉදිරි සතිවලදී පැවැත්වීමට නියමිත බවය. රටේ ආර්ථික ප්‍රතිපත්තිය මෙන්ම එහි මිලිටරි සහ ආරක්ෂක උපාය මාර්ගය ද සාකච්ඡාවට භාජනය කිරීම මෙම සම්මේලනයේ ප්‍රධාන මාතෘකා අතර වනු ඇතැයි ද පැවසේ.

@Lanks Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *