Latestදේශීයනවතම ලිපිමතවාද

නන්දන ගුණතිලක නම් පනිවුඩය

(වංගීස සුමනසේකර)

නන්දන ගුණතිලක අපට දේශපාලනය ගැන ඉතාම බැරෑරුම් පාඩමක් කියා දෙයි. ඔහු පෙන්වා දෙන්නේ සත්‍ය වශයෙන්ම අප පෙනී සිටිනා අදහස් වෙනුවෙන් පෙනී සිටීමින් දේශපාලනය කරන්නේනම් මේ සඳහා අපට ඇති තෝරාගැනීම්වල සීමාවයි.

නන්දන ගුණතිලකව මා පුද්ගලිකව මුණ ගැසී තිබෙන්නේ එකම එක අවස්ථාවකදීය. ඒ මහින්ද රාජපක්ෂගේ දෙවෙනි ධුර කාලයේ එක් දිනක නිර්මාල්ලාගේ ගෙදර පැවති සාකච්ඡාවකදීය. අලුත් වැඩක් ආරම්භ කිරීම වෙනුවෙන් පැවති එම සාකච්ඡාව සාමාන්‍යයෙන් මෙවැනි වැඩවලදී බොහෝ විට සිදුවන පරිදි එම සාකච්ඡාවෙන්ම අවසන් විය. එනිසා මට නන්දන ගුණතිලක සම්බන්ධයෙන් පෞද්ගලික අත්දැකීමක් නැත.

ඔහු ජවිපෙන් ඉවත් වූයේ ඇයිද යන්නද මා නිශ්චිතව දන්නේ නැත. ඔහු ඒ වනවිට ජවිපෙ සිටි ජේෂ්ඨ නායකයකු බවත් එම පක්ෂයේ නිර්මාර්තෘ රෝහණ විජේවීර සමග සමීපව සිට දිවි ගලවාගත් චරිත අතර කෙනෙකු බවත් මා අසා තිබේ. 1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමෙන් ඔහු එහි ඉහළ පෙලේ නායකයකු බව පැහැදිලි වෙයි.

මේ ආකාරයේ සාමූහිකයන් පවත්වාගෙන යාම අතිශය අපහසු වැඩක් බව මම හොඳාකාරව දනිමි. මෙවැනි වැඩවලට මිනිසුන් එකතු වන්නේ අව්‍යාජ ආචාරධාර්මික තෝරාගැනීමක් ලෙසයි. එනිසාම මෙවැනි තැන්වලදී එක්තරා සීමාවකට පසුව අපේ සිතට එකඟ නොවන වැඩ කිරීමට අප එකඟ වන්නේ නැත. මෙය අත්හැරීමේ බරපතල තීන්දුව ගැනීමට එවැනි කෙනෙකු පසුබට නොවන්නේ මේ නිසාය. තමන් ප්‍රාර්ථනා කරන පොදු අරමුණ සාක්ෂාත් නොවන්නේ නම් මෙවැනි වැඩ වෙනුවෙන් පෙනී සිටිය හැකි නොවේ.

නන්දන ජවිපෙන් ඉවත් වන්නේද මෙවැනි මත ගැටුමක් නිසා කියා මම උපකල්පනය කරමි. නමුත් ගැටලුව වන්නේ ඉන් පසුව අපට ඇති තෝරාගැනීම කුමක්ද යන්නයි. තවදුරටත් කෙනෙකු දේශපාලනයේ නියැලීමට අපේක්ෂා කරන්නේ නම් එහිදී නන්දන ගිය මාවත හැර වෙනත් මාවතක් තිබෙනවා කියා මා සිතන්නේ නැත. එහිදී නන්දනගේ තෝරාගැනීම විමල් වීරවංශ හෝ වරුණ රාජපක්ෂ හෝ වැනි කෙනෙකුට වඩා ශෝචනීය වන්නේ ඔහු විමල් සේ සේ ජාතිවාදය හෝ වරුණ සේ ධනේශ්වර ලිබරල්වාදය විවෘතව තෝරාගැනීමටද අසමත් වූ නිසාය. මට සිතෙන්නේ මිය යන තුරු වාම දේශපාලනයට පක්ෂපාතීත්වයක් ඔහුගේ සිතේ ශේෂව තිබුණු බවයි.

නමුත් ඔහු සිය දේශපාලන ගමන අවසන් කළේ සිය පරමාදර්ශ මුළුමනින් පාවාදීමෙන් පසුවයි. ගැටලුව වන්නනේ ඔහුට දේශපාලනය කිරීම සඳහා වෙනත් තෝරාගැනීමක් නොමැති වීමයි. නන්දන ගුණතිලක සිය ජීවිතයෙන් අපට ඉගැන්වූ බැරෑරුම් පාඩම මෙයයි.

මෙය අපට මේ මොහොතේ අපේ රටේ ඇති දේශපාලන තෝරාගැනීම් සම්බන්ධයෙන් වැදගත් පාඩමක් හෙළි කරයි. කෙනෙකු ප්‍රායෝගිකව වාම දේශපාලනයේ නියැලෙනවා කියා සිතන්නේ නම් එය කළ හැකි වන්නේ ජවිපෙ මූලික සන්ධානයකට සහය දීමෙන් පමණි. එසේත් නැතිනම් තමන් වමේ දේශපාලනය කරනවා කියා ෆේස්බුක් එකේ කයිවාරු ගසමින් සිටිය හැකි බවනම් මම පිළිගනිමි. නමුත් එය කිසිසේත් අපේ රටේ සැබවින්ම පවත්නා දේශපාලනය කිසිදු අයුරකින් සම්බන්ධ වන දෙයක් නොවේ.

නන්දන පෙන්වා දුන් වැදගත් පාඩම මෙයයි. ජවිපෙ ප්‍රමුඛ සන්ධානයෙන් එළියට යන කෙනෙකු අවසානයේදී නතර වන තැන ඔහු පෙන්වා දෙයි. මින් අදහස් වන්නේ මෙහිදී අප ජවිපෙ කුමක් කළත් එයට එකඟ වීම අනිවාර්යය වනවා යන්න නොවේ. ඉතා පැහැදිලිව මෙහිදී අපට තවත් තෝරාගැනීමක් තිබේ. ඒ, බල දේශපාලන ක්‍රියාකාරීත්වයෙන්, එසේත් නැතිනම් පක්ෂ දේශපාලන ක්ෂේස්ත්‍රයෙන් ඉවත්ව නිහඬ වීමයි.

නන්දන එම තෝරාගැනීම කළේනම් ඔහු සම්බන්ධයෙන් මෙයට වඩා බොහෝ වෙනස් අදහස් දැක්වීම් අපට අද කියවන්නට ලැබෙනු ඇත. ඔහුගේ ජීවිතය ශෝකාන්තයක් වන්නේ මේ නිසාය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *