ශෙරාඩ් ජයවර්ධන පියතුමා යනු කව්රුන් ද ?
ශෙරාඩ් ජයවර්ධන පියතුමාව පොලිස් ත්‍රස්ත මර්ධන සහ විමර්ෂණ කොට්ඨාශයට කැඳවා පැය හතරකට අධික කාලයක් ප්‍රශ්න කිරිම ගැන මාකස් ප්‍රියන්ත පෙරේරා ෆේස්බුක් හී ලියු සටහන සම්බන්ධයෙන් කීප දෙනෙකු අපෙන් විමසු බැවින් ඒ පිළිබඳ යමක් පැවැසීය යුතුයැයි හඟිමු.
ප්‍රථමයෙන් කිව යුත්තේ මාකස් ප්‍රියන්ත පවසන පරිදි එතුමාව කැඳවා තිබුණේ මීගමු පොලිසියට නොව, කොළඹ 01 පිහිටි ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාශයේ විමර්ශන ඒකකයට බවයි.
ශෙරාඩ් ජයවර්ධන පියතුමාව කැඳවා තිබුණේ එතුමා උතුර-නැගෙනහිර යුධ වින්දිතයින් සිහි කිරිම සඳහා ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසින් 2025 වසරේ මීගමුවේදි සංවිධානය කළ වැඩ සටහනක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටය.
ශෙරාඩ් ජයවර්ධන පියතුමාගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය විමසා තිබුණු එක් ප්‍රශ්නයක් වන්නේ ඔබ වහන්සෙලා කථා කරන්නේ උතුරේ ප්‍රශ්න ගැන පමණද යන්නය. එතුමා උතුර ගැන පමණක් කතා කරන පියතුමෙකු නොවන බව ඔවුන් නොදන්නවා නොවේ. නමුත් ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන් දකුණේ සමාජය තුළ පුද්ගලයෙකුට එරෙහි මර්ධනය සාධාරණිකරණය කළ හැකි පහසු මාර්ගය වන්නේ ඔහුව/ඇයව උතුරේ දෙමළා හා මුසල්මානුවා සමඟ අනන්‍ය කර ත්රස්තවාදයට සම්බන්ධව කිරීමයි. ඒ නිසා, ශෙරාඩ් පියතුමා ගැන යමක් පැවසීම යුතුකමකැයි සිතේ.
ශෙරාඩ් පියතුමා කව්ද ? මොනවද කරන්නේ,
– ශෙරාඩ් පියතුමා ශ්‍රී ලාංකික පුරවැසියෙකි. ජාතිය වශයෙන් සිංහලය. ආගමික වශයෙන් කතෝලිකය.
– එතුමා බේරුවල උපත ලැබු කළුතර සිරිකුරුස විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා බොරැල්ල කනිටු දෙව්සත්හලට ඇතුළු වී 1989 දී කොළඹ පදවියේ පූජකවරය ලබා සිය පූජකවරය අර්ථවත්ව ජීවත් කරවීමට උත්සහ ගන්නා කතෝලික පියතුමෙකි.
– එතුමා මීසම් කීපයක සහය පූජකයෙකු ලෙස ක්‍රියා කොට කළුතර මීසම, දූව මීසම, ආදි මීසම්වල මීසම් සේවක ලෙස ක්‍රියාකර පසුව මීගමුව දූව රෝමානු කතෝලික විද්‍යාලයේද, රාගම බැසිලිකා විද්‍යාලයේද, අවසානයේදී වැලිවිට රෝමානු කතෝලික විදුහලයේදී ගුරුවරුයෙකු ලෙස සේවය කළේය. දැනට එතුමා අංගොඩ දේවස්ථානයේ නේවාසිකව සිටිමින් වැලිවිට පාසලේ ගුරු හිගයට පිළියමක් ලෙස ස්වෙච්ඡාවෙන් උපකාර කරයි.
– එතුමා කිතුසර කණ්ඩායමේ ප්රාරම්භකයෙකු වන අතර ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයේ සාමාජිකයෙකි.
– එතුමා පූජකතුමෙකු ගුරුවරයෙකු ලෙස ක්‍රියා කරන අතර ඒ භූමිකා දෙක විසින්ම පවරා දෙනු ලබන ආධ්‍යාත්මික වගකිමේ අනුල්ලංගීනය කොටසක් ලෙස සමාජ සාධාරණත්වය, යුක්තිය හා විමුක්තිය සඳහා වැඩ කිරීමටද ක්‍රියා කළ, අද ද ක්‍රියා කරන නිහතමානි පූජකයෙකි.
එතුමා කළ කී දෑ සියල්ල විවෘතව සිදු කරන්නෙකි. එතුමාගේ ගුරුවරයා වන ජේසුස් වහන්සේව අත්අඩංගුවට ගැනීමට විශාල භට පිරිසක් සමඟ ආ විට ජේසු තුමා පැවසු වදන් ශෙරාඩ් පියතුමා සම්බන්ධයෙන්ද එක සේ අදාළය. එනම් ‘මා සියල්ල ඔබ ඉදිරියේ විවෘතව සිදු කළෙමි.’
– ශෙරාඩ් පියතුමා සමාජ සාධාරණය ගැන කතා කරන්නේ 1988-1990 භීෂණ සමයේ දකුණේ තරුණ තරුණියන්ට එරෙහි රාජ්‍ය දියත් කළ සමූහ සංහාරය සමඟය. උන්වහන්සේ පටන් ගත්තේ එතැනිනි. ත්රීමා විතානලාට අණ ගසන යුගයෙනි. රාජ්‍ය වගකීමෙන් ආරක්ෂා කිරිමේ පනතත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත්, හදිසි නීතියත් යොදාගෙන දකුණේ ස්වාමින් වහන්සෙලා ධර්ම චක්‍රයේද තරුණ තරුණියෝ ටයර් සෑයන්වලද මරා දැමීමට විරුද්ධවය. එදා ශෙරාඩ් පියතුමන්ලාගේ ආධ්‍යාත්මයට වද දුන් ප්රශ්නය වූයේ කායින් මෙන් දැවි හළු වී මරා දමන, පීඩාවට පත්වන සහෝදර ජනතාව ඉදිරියේ ‘මම මගේ සහෝදරයාගේ රැකවලාද ?’ යන ප්රශ්නය දෙවියන්ගෙන් ඇසිය නොහැකි වීමයි.
– ශෙරාඩ් පියතුමා උතුර නැගෙනහිර ගැනද, කඳුකරය ගැනද, දකුණ ගැනද එනම් සියල්ලන් ගැන සිතුවේ ඒ ආධ්‍යාත්මික මූලධර්මය මතය. එතුමා පීඩිතයා වෙනුවෙන් වු ඒ ස්ථාවරය කිසිදු පැලිකීමලකින් තොරව දෙමළ පීඩිතයාටද, කඳුකරයේ පීඩිතයාටද, මුස්ලිම් පීඩිතයාටද, ධීවරයාටද, කම්කරුවාටද, සංක්රමනිකයාටද අදාල කරගන්නෙකි.
පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය සඳහා මැදිහත්වීම.
පසුකාලීනව පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට විශාල වන්දි මුදලක් ලබා දීමට හේතු වු හා එම ප්‍රහාරයට යුක්තිය ඉටු කිරිමේ ක්‍රියාවලියට ඉතා වැදගත් වු අදාලව මානව හිමිකම් නඩුව මුලින්ම අධිකරණය හමුවට ගෙන ගියේ නීතිඥ අශෝක් ස්ටීවන් පියතුමා සමඟ ශෙරාඩ් ජයවර්ධන පියතුමා හා සරත් ඉද්දමල්ගොඩ පියතුමාය. කාදිනල් තුමා නමට කිතුනු පුවත්පත් හා සමාජ මාධ්‍ය ලියා දුන් එම ක්‍රියාවලියේ සත්‍ය කතාවද සැකවින් කිව යුතුය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට පසු මානව හිමිකම් පෙත්සමක් ගොනු කිරිම දින 30 ක් තුළ කළ යුතුව තිබුණි. රටේ විධායකයද අදාල වන පෙත්සමකට ඒ දින ගණන ඉක්මවා යාමට පෙර ඒ ගොනුකිරිම සිදු කිරිමට රටේ එවකට තිබු වාතාවරණය තුළ කිසිවක් ඉදිරිපත් නොවින. අශොක් පියතුමා එවටක අධ්යක්ෂව සිටි CSR ආයතනයද ඊට ඉදිරිපත් නොවන, කාදිනල් තුමාද රාජපක්ෂවාදය තුළම අදහස් දක්වමින් සිටින පසුබිමක නීතිඥ අශෝක පියතුමා සමඟ අධිකරණයට ගියේ ශෙරාඩ් හා සරත් පියතුමන්ලාය.
පසුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් උපුල් කුමරප්පෙරුම හා සාලිය පීරිස් නීතිඥවරුද අධිකරණයට ගිය අතර කාදිනල් තුමන් එම නඩුවේ 54 වන පාර්ශවකරු ලෙස සම්බන්ධ වූයේ නඩු විභාගය අතරතුරදීය.
– ශෙරාඩ් පියතුමා උතුර ගැන විතරද වැඩ කරන්නේ කියා අසන අයට තව එක් කරුණක් පමණක් මතක් කරදීම සුදුසු යැයි හැඟේ. මීගමුවේ ධීවර ගැටලු ගැන සුවිශේෂිව, ස්වෙච්ඡාවෙන් ධීවර කටයුතු භාර අධ්යක්ෂ හෝ වෙන කිසිදු නිල තනතුරුක් නොමැතිව අඛණ්ඩව වැඩ කරන පියතුමා එතුමාය.
මහින්ද රාජපක්ෂගේ ඉහට උඩින් කපුටෙකුවත් පියාඹන්නේ නැතැයි කියන තරම්වු කාලයක මීගමුවේ කලපුවේ සී ප්ලෙන් ව්‍යාපෘතිය සඳහා වු ජනතා විරෝධයේ ධීවරයින්ගේ ප්‍රධාන ශක්තියක් වූවෙකි ශෙරාඩ් පියතුමා.
දහස් ගණනක් ධීවරයින් සමාජ ක්‍රියාධරයින් පැවැත්වු තීරණාත්මක විරෝධයේදී කලපුව මැද බෝට්ටු සිය ගණනක් රජය තීරණයක් දෙන තුරු ආපසු නොහැරිමට තීරණය කළ අවස්ථාවේ රජය ගොඩබිමින්ද, ගුවනින්ද, ජලයෙන්ද, පාබල, ගුවන් හා නාවික බලය යොදා දැඩි පීඩනයක් එලල් කොට අවි අමෝරා ධීවරයින් වටකළ මොහොතේ ජනතාව සමඟ බෝට්ටුවේ සිටි ශෙරාඩ් පියතුමාය. එදා සිටි ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ ‘ඉවත්වූයේ නැත්නම් පහරදීම සිදු කරන බව හමුදාවේ දුරකථනය මගින් ශෙරාඩ් පියතුමාට දැනුම් දුන් විට එතුමා ආරක්ෂ ලේකම්වරයාට නොබියව පැවසුවේ ‘පූජක අපව නඩත්තු කරන බැටළුවන් වන ධීරවයින් අත්හැර යා නොහැකි බවත් ඔවුන්ගේ ඉරණමේ කොටස්කරුවන් වීම හැර එඩේරුන් ලෙස අපිට කළ හැකි දෙයක් නොමැති බවත්ය.’ එතුමා එදා සෘජුවම ඒ බව පවසා ජනතාව සමඟ හා ක්‍රියාධරයින් සමඟ නොසිට එහි සිටි අනිත් පූජක පැවිදි පිරිස් සමඟ ඉවත්වූයේ නම් සිදුවිය හැකි දේ සිතාගත නොහැකි තරම් බිහිසුණුය. කටුනායක රොෂෙන් චානකලාට, හලාවත ඇන්තනිලාට, රතුපස්වල මිනිසුන්ට ඒ රජය සිදු කළ දේ දන්නා අයට එය සිතාගත හැකිය.
– ශෙරාඩ් ජයවර්ධන පියතුමා කව්ද, මොනාද කරන්නේ කියලා විමසම අයට දැනට ඒ ටික ප්රමාණවත්ය.
– ජනතාවගේ ඉරණම පූජකයාගේද ඉරණමද විය යුතුය.
– ත්‍රස්ත විමර්ශන ඒකකයට ශෙරාඩ් ජයවර්ධන පියතුමාව කැඳවීම විශාල දෙයක් ලෙස හෝ සුවිශේෂි දෙයක් ලොස එතුමා නොසලකයි. මන්ද උතුරේත් දකුණේත් සමාජ ක්‍රියාධරයින් නිතරම රාජ්‍ය විසින් බිය ගන්වන එක් ක්‍රමයක් ලෙස එය භාවිත වන දන්නා නිසාය. සැල්වදොරයේ ප්‍රාණ පරිත්‍යාගී ඔස්කෝ රොමේරෝ රදගුරු තුමා කීවේ ‘පූජකයින්වට තාඩන පීඩන එල්ල කිරිම, මෙන්ම මරා දැමීම ගැනද එක් අතකින් සතුටු විය හැකි බවයි. මන්ද ඒ ඉරණමට ගොදුරුවන පීඩිත සිය ගණන් ජනතාව සමඟ ඔවුන්ගේ පැත්තේ පූජකවරු සිටින බව, රැළ අත්නොහරින එඩේරුන් සිටින බව ඉන් පෙනියන නිසාවෙනි යනුවෙනි.
රජය විසින් මුදා හරින ත්රස්තවාදයට එරෙහි වන දෙමළ, මුස්ලිම්, සිංහල ගිහි පැවිදි පිරිස් අතර එක්නෙකෙු වීම මිස මෙය අන් දෙයක් නොවේ. 1988 කාලයේ සිට ගතහොත් බොහෝ පූජකයින් පිරිසක්ද එසේ කැඳවා ඇත. ආසන්න කාලය තුල ජීවන්ත පියතුමා, සත්‍යවේල් පියතුමා මෙන්ම රසිකා පීරිස් පැවිදි සොයුරියන්ද මෙසේ කැඳවා ඇත.
– ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට මේ රජය ගෙන ඒමට සැරසෙන ත්‍රස්තවාදයෙන් රජය ආරක්ෂා කිරිමේ පනත සම්මත වුවහොත් හෙට උතුර ගැන, දෙමළ මුස්ලිම් ජනයා ගැන පමණක් නොව රජයේ මතයට විරුද්ධ වන ඕනෑම කෙනෙකු මෙසේ කැඳවා බිය ගන්වා මර්ධනය කිරිමට රජයට හැකියාව ලැබෙනු ඇත.
– දැනටමත් ශෙරාඩ් ජයවර්ධන පියතුමා ඇතුළු පියතුමන්ලා රැසක් ඊට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර ඊයේ සිට ඇරඹු පෙත්සම් ව්‍යාපාරයටද දායකවනු ඇත.
ශෙරාඩ් පියතුමා අදහන දෙවිදුන් විමසන්නේ ජාතිය, ආගම ප්‍රදේශය ගැන නොවන බව එතුමා අදහයි. දෙවිදුන් විමසන්නේ ‘මම පීඩිතව, කුසගිනිව, සිරගතව, මර්ධනයට ලක්ව සිටියා ඔබ කුමක් කළාද?’ යන්නයි.
ඒ කෙනාගේ ජාතිය ආගම ප්‍රදේශය දෙවියන් විමසන්නේ නැත. ශෙරාඩ් පියතුමන්ලා දකුණ තරුණයින් ගැන ක්‍රියා කරන විට එය ආදරයෙන් පිළිගත් පිරිස් විසින් බලය හොබවන මේ රජයද ශෙරාඩ් පියතුමන්ලා දකුණ ගැන කතා කළ බරින් ම උතුර ගැන කතා කරන විට සුපුරුදු මර්ධන පිළිවෙතම ක්‍රියාවට නැංවීම මගින් පවසන දේ තේරුම් ගත යුත්තේ කෙසේදැයි ඔබ සිතා බැලිය යුතුය.
‘ඝාතනයේ
උතුරු දකුණු
වෙනසක් නෑ දුටුවේ,
පීඩනයේ සිංහල ද්‍රවිඩ
වෙනසක් නෑ දුටුවේ.
පීඩනයයි ඝාතනයයි
මරණයමයි මැව්වේ.
ඒ හින්දයි ඝාතනයට
එරෙහිව හඬ නැගුවේ’
@කිතුසර කණ්ඩායම
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

