Latestදේශීය

පැය 48 ඉවරයි – අද සිට අඛන්ඩ වර්ජනයේ – GMOA කියයි

පිටතින් ඖෂධ ගන්න හෝ රසායනාගාර පරීක්‍ෂණ කරගන්න තුණ්ඩු දෙන්නේ නෑ – GMOA කියයි

සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල රජයේ වෛද්‍යවරු අද (26දා) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ඊයේ (25දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

වෘත්තීය ක්‍රියාමාර්ග 5ක් ඉලක්ක කර මෙම ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ද හෙතෙම කීය.

මෙම වර්ජනය ළමා රෝහල, මාතෘ රෝහල, අපේක්ෂා රෝහල, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතය යන රෝහල්වල ක්‍රියාත්මක නොවන බව ද කියා සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

රෝහල් පද්ධතිය තුළ, සායන තුළ, බාහිර රෝගී ඒකක තුළ යම් ඖෂධයක් නැත්නම් ඒ නැති ඖෂධය බාහිර ඔසුසල්වලින් ගන්න රෝගීන්ට තුණ්ඩු නිකුත් කරන්නේ නැහැ.

ඒ වගේම රෝහල්වල නැති රසායනාගාර පරීක්ෂණ පිටත රසායනාගාරවලින් හෝ පෞද්ගලික රෝහල්වලින් සිදු කරන්න කියලා අපි තුණ්ඩු සහ නිර්දේශ නිකුත් කරන්නෙත් නැහැ.

දැනට අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව සපයන්න බැරිනම් ඊළඟට අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව සම්මත කරගෙන හෝ රජයේ රෝහල්වල නව ඒකක ආරම්භ කිරීමට අපි අද ඉඳලා අවස්ථාව දෙන්නේ නැහැ.

දේශපාලන වුවමනාවට දේශපාලන අවශ්‍යතාවයන් මත යම් සායන, යම් යම් සෞඛ්‍ය කඳවුරු පවත්වනවා. ඒ පවත්වන සෞඛ්‍ය කඳවුරු හා සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට අපේ සාමාජිකයන් යොදවන්නේ නැහැ. ඒ වගේම සහයෝගය දක්වන්නෙත් නැහැ.

යම් රෝහලක, යම් සායනයක, යම් බාහිර ප්‍රතිකාර ඒකකයක රෝගියා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයාගේ සහායට, සහායක නිලධාරියකු (චැපරෝන්) ලබාදෙන්නේ නැත්නම් ඒ රෝහල්වල, ඒ සායනවල බාහිර ප්‍රතිකාර ඒකකවල වෛද්‍යවරුන් එම ස්ථානවල වැඩ කරන්නේ නැහැ. ඒවයින් ඉවත් වෙනවා.

අපි අද ඉඳලා ආරම්භ කරන වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩ නොකර ඉන්න නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පහසුකම් ටික දෙන්නේ නැත්නම් මතක තියාගන්න ඔබ නිසයි මේ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැටෙන්නේ. ඒකෙ වගකීම සෞඛ්‍ය ඇමැතිවරයා හෝ රජය ගන්නේ නැත්නම් අඛණ්ඩව මේ සෞඛ්‍ය සේවාව බිඳවැටෙනවා.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *