පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිඥ ජී.කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව තීරණය කර තිබේ.
ඒ මහතාගේ පත්වීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වයක් මත පසුගිය 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මේ වැඩ තහනම සිදු කර ඇත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී යනු ජ්‍යෙෂ්ඨත්වය අතින් දෙවැනි තනතුර වේ. එහිදී එම පත්වීම සම්බන්ධයෙන් ලැබූ තිබූ පැමිණිලි කිහිපයක් පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව තීරණය කර ඇත.
ඒ අනුව විමර්ශන නිලධාරියෙක් පත් කර ඇත. චමින්ද කුලරත්න මහතාගේ සේවය අත්හිටුවා ඇත්තේ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහාය.
ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්නගේ මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් පත් කිරීමේදී ඇතැම් නිලධාරීන් ක්‍රියා කර ඇති ආකාරය 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ 111 වගන්තියේ දැක්වෙන දූෂණය නමැති වරද යටතට ගැනෙන බවට ද තොරතුරු වාර්තා වේ.
පසුගිය 23 වැනිදා පස්වරුවේ රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවට කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, සභානායක ඇමැති බිමල් රත්නායක, විපක්ෂ නායක වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, මුදල් ඇමැතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය මුදල් ඇමැති අනිල් ජයන්ත සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණධීර මහත්ම මහත්මීන් සහභාගී වී ඇත.
වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් ඒ මහතාගෙන් විමසීමේදී ප්‍රකාශ කළේ 23 වැනිදා පස්වරු 6.30 දක්වාම මේ සම්බන්ධයෙන් තමන් දැන නොසිටි බවයි. මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ මහතා පැවසීය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් තම තනතුර ස්ථිර කර ගැනීමට කටයුතු කර ඇති බව චමින්ද කුලරත්න මහතාට එල්ල වන චෝදනාවක් වන අතර, වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයකින් පසු පිටු 30කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවට ද වාර්තා වේ.
රජයේ ඉහළ තනතුරකට රාජ්‍ය සේවකයෙක් බඳවා ගැනීමේදී දේශපාලන මණ්ඩලයක් විසින් සම්මුඛ පරීක්ෂණයකට ලක් කර ඇති බවට ද චෝදනා එල්ල වන අතර, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු සභානායක සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර යන අය සම්මුඛ පරීක්ෂණයේ පරීක්ෂණ මණ්ඩලය ලෙස කටයුතු ඇති බවට ද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම සාවද්‍ය කරුණු ඉදිරිපත් කරමින් කාර්ය මණ්ඩල ප්‍රධානි සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තනතුරට පත්වීම ගැනීම හා එම තනතුරේ සේවය ස්ථිර කරවා ගැනීම මඟින් මෙන්ම තමාට හිමි නැති වැටුප් පියවරක් ගැනීම මඟින් ද රාජ්‍ය සේවයේ පවත්නා රෙගුලාසිවලට පටහැණිව කටයුතු කර ඇති බව ද චමින්ද කුලරත්න මහතා වෙත එල්ල කර ඇති එක් චෝදනාවකි.
එක් අවුරුදු වැඩබැලීමේ කාලයකට යටත්ව පත්වීමක් ගැනීමට කටයුතු කිරීම හා එම තනතුරට නියමිත වැටුප් පියවරයකට වඩා ඉහළ වැටුප් පියවරයකට අයත් වැටුප් ගැනීම හරහා රජයට මූල්‍යමය අලාභයක් සිදු කිරීම ඔහුට ඇති තවත් චෝදනාවකි.
ඒ අනුව මෙම චෝදනා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර අවසන් වන තෙක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශන කාරක සභාව විසින් චමින්ද කුලරත්න මහතා වැඩ තහනමකට ලක්කර තිබෙන අතර, එම කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසීමද තහනම් කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

