සමන් ඇතුළට – එතකොට රනිල්ට මොකද වෙන්නේ ?
හිටපු ජනාධිපති ලේකම්වරයකු වන සමන් ඒකනායක හෙවත් සොමිසාර බණ්ඩාර ඒකනායක මහතා ලබන 11 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (28දා) නියෝග කළේ රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනයට ගොස් රජයට රුපියල් එක්කෝටි හැටලක්‍ෂයක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල දෙවන සැකකරු ලෙස සමන් ඒකනායක මහතා නම් කරන බව පෙන්වා දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විමර්ශන නිලධාරීන් කළ කරුණූ දැක්වීම් සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
එම සැකකරු ඊයේ අධිසුඛෝපභෝගී වාහනයකින් අධිකරණ භූමියට පැමිණ ඉන් බැස අධිකරණ ශාලාවට ඇතුළු වී තිබිණි.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා
ස්වාමීනි, මෙම සැකකරු විමර්ශන කටයුතුවලට බාධා වන අයුරින් මගහරිමින් සිටිමින් තමයි අද අධිකරණයට ඇවිත් තිබෙන්නේ. පසුගිය 22 වැනිදා සිට ඔහුගේ ජංගම දුරකථනවලට ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකිවයි සිටියේ.
පසුගිය අගෝස්තු 25 වැනිදා මෙකී විමර්ශන සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කළා. ඔහු නිවසින් අතුරුදන් වෙලා සිටියේ. අසල්වැසි ගෙදරකට පූසන්ට අවශ්‍ය මාළුයි හාල්මැස්සොයි දීලයි. තවදුරටත් ප්‍රකාශ සටහන් කොට විමර්ශන සිදු කිරීමට තිබෙන නිසා ඇප ලබාදෙන්න එපා. ඇප දුන්නොත් ආයෙත් අතුරුදන් වෙන්න පුළුවන්.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා
මගේ සේවාදායකයා කිසිම දවසක අධිකරණය හෝ විමර්ශනවලට මුහුණ නොදී සැඟවී සිටියේ නෑ. ඔහු අදත් අධිකරණයට ආවේ ස්වෙච්ඡාවෙන්.
මහෙස්ත්‍රාත්වරයා ජනාධිපති ලේකම්වරයෙක් කියන්නේ රටේ ප්‍රධාන ගිණුම් නිලධාරියා. එවැනි අයෙක් මෙලෙස ක්‍රියා නොකළ යුතුයි.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා
අද අධිකරණයට කරුණු දක්වන අවස්ථාවේදී අධිකරණ ශාලාවේ සිටි නීතිඥවරුන් කලහකාරී ලෙස හැසිරෙමින් ඝෝෂා නැඟීම නිසා අධිකරණයේ ගරුත්වය රැකෙන පරිදි හැසිරීමට නොදන්නා ඕනෑම අයකුට එරෙහිව තම අධිකරණය සතු බලතල අනුව කටයුතු කරන බව පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපති ලේකම්වරයාගේ නම සොමිසාර බණ්ඩාර ඒකනායක බවත් සමන් ඒකනායක ලෙස කිසිදු නිල ලේඛනයක සඳහන්ව නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ එම ලන්ඩන් සංචාරය පුද්ගලික සංචාරයක් බවට තහවුරු වන කරුණු තම අධිකරණයට ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව සනාථ වන බව මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලන්ඩන් නුවර අදාළ විශ්ව විද්වියාලයට ගොස් ප්‍රකාශ 13ක් ලබාගෙන ඇති බවත් එකී ප්‍රකාශ අනුව මෙම සංචාරය නිල සංචාරයක් නොව පුද්ගලික සංචාරයක් බව තහවුරු වන්නේ යැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සම්බන්ධයෙන් වෙනම ක්‍රමවේදයක් ඇති බවත් සිය සේවාදායකයා රජයේ නිලධාරියකු පමණක් බවත් දෙවන සැකකාර සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. පළමුවන සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පෙනී සිටියේය.
මෙකී මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන අවසන් කොට සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තම අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට පැමිණිල්ලට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එම නඩුවේ පළමුවන සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට ලබන අප්‍රේල් 29 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ද ඊයේ සිය සැමියා සමග උසාවියට පැමිණ සිටිනු දක්නා ලදී. වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය සංචාරයට සහභාගි වූයේ සිය බිරිඳ සහභාගි වූ විශ්ව විද්වියාල උපාධි උත්සවයට ආරාධිතයකු වශයෙනි.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

