Latestදේශීයමතවාද

ආන්ඩුවේ ඩෝබි භූමිකාව කුමක් සදහා ද?

(වංගීස සුමනසේකර)

මා බෙහෙවින් ගරු කරන මගේ මිතුරෙකු මට මෑතකදී කියුවේ මේ ආණ්ඩුවේ ඩෝබී භූමිකාව මගින් මගේ ප්‍රතිරූපයත් අනාගතයේ විනාශ වීමට නියමිත බැවින් ඩෝබී භූමිකාවෙන් ඉවත් වන ලෙසයි. මට තිබෙන සරල ප්‍රශ්නය වන්නේ එසේ කරනවා යනු අප තවදුරටත් මේ මොහොතේ දේශපාලනයෙන් ඉවත් වනවා යන්න පමණි. මා ඇතුළු පිරිසක් යෝජනා කරන දාර්ශනික සංවාදය දේශපාලනයෙන් ස්වායත්ත වූවක් නොවේ. එනිසා දේශපාලනයෙන් ඉවත්ව අප මේ කරන වැඩේ අර්ථයක් තිබෙනවා කියා මා සිතන්නේ නැත.

සත්‍ය වශයෙන්ම දාර්ශනික ආචාරධර්ම පිළිබඳව අදහස ආරම්භයේ සිටම දේශපාලනයෙන් ස්වායත්ත වූවක් නොවේ. ඇරිස්ටෝටල්ට අනුව සාර්ථක ජීවිතයක් සඳහා ඇති එක් අර්ථයක් වන්නේම දේශපාලනයේ සාර්ථකත්වය යන්නයි (ඉතිරි දෙක වන්නේ අපට තෘප්තියට පත්කරන කලාව වැනි දේ සහ දාර්ශනික දැනුම අත්පත්කරගැනීමයි). එම අර්ථයෙන් මෙය දාර්ශනික සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමේ මගහැරිය නොහැකි මානයකි. එය මගහැරිය හැක්කේ ප්‍රති-දර්ශනය වෙනුවෙන් පෙනී සිටිනා කෙනෙකුට පමණි.

දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිනාවනම් මේ මොහොතේදී ආණ්ඩුවට පක්ෂව හෝ විපක්ෂව ස්ථාවරයක් ගැනීම අනිවාර්යය වන්නේ මේ නිසාය. අපේ රටේ දේශපාලනය ගැන සංවාදයේ සිටිය හැකි වෙනත් ආස්ථානයක් මෙහි නැත. මෙතනදී අප පැත්තක් ගෙන ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්විය යුතුය. එසේ නොකරන අය යනු සත්‍ය වශයෙන්ම දේශපාලන සංවාදයේ ඓන්ද්‍රීය කොටස් නොවේ (බූපති නලින් සහෝදරයා ‘රැඩිකල් දේශපාලන ක්‍රියාධරයා’ යන අනන්‍යතාවයේ සිට ‘සිනමා විචාරකයා’ යන අනන්‍යතාවයට සීමා වී තිබෙන්නේ මේ නිසාය).

මේ ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචන මට අතිවිශාල ප්‍රමාණයක් තිබේ. කවදා හෝ මේ ආණ්ඩුව බිඳ වැටුනහොත් මේ සියල්ල ලුණු ඇඹුල් ඇතිව මම කියමි. නමුත් මට තවමත් සජිත්, නාමල්, රනිල් වැනි තෝරාගැනීම් අපේ රටේ දේශපාලනයෙන් පරාජය කිරීමේ අවශ්‍යතාවයට විකල්ප වූ උපායමාර්ගික තෝරාගැනීමක් නැත. එනිසාම මේ ආණ්ඩුවට එරෙහිව යන අය තමන් සම්බන්ධයෙන් කුමක් සිතුවත් ඔවුන් සේවය කරන්නේ ඉහත පැරණි දේශපාලනයටයි කියා මම දනිමි.

එය ජාතිවාදය, දූෂණය, සාමාන්‍ය ජනයා පෙලා සිටිනා චණ්ඩින්ගේ පාලනය ආදියෙන් සමන්විත වන පැරණි ‘ගේම්’ එක බලයට ගෙන ඒමට පාර කැපීමක් පමණි. වෙනසක් ඇති වන්නේ නම් එය වියහැක්කේ මේ පිරිස දේශපාලනයෙන් ඉවත් වන තුරු කෙසේ හෝ මේ ආණ්ඩුව රැක ගැනීමෙහි පමණි. සමහරවිට ඉන් පසුව මේ ‘පිරිසිදු මිනිසුන්’ ප්‍රාර්ථනා කරන ආකාරයේ දේශපාලන විපක්ෂයක් ඇති වනු ඇත. එහිදී මම එයට එරෙහි වූ ද්‍රෝහියෙක් ලෙස හඳුනා ගැනීමටද හැකිය. නමුත් ඒ වනවිට මේ ‘අපත විපක්ෂය’ අවසන්ව තිබෙන නිසා පැමිණෙනු ඇත්තේ මෙයටත් වඩා යහපත් තොරාගැනීමකි. ඒ වෙනුවෙන් මගේ ප්‍රතිරූපයට හානි වීම නම් වන්දිය ගෙවන්නේ නම් එය මට ගැටලුවක් නොවේ. මගේ ප්‍රතිරූපය මේ ලොකු චිත්‍රයේ කිසිසේත් වැදගත් සාධකයක් නොවේ. නමුත් මට බය තිබෙන්නේ මේ ආණ්ඩුවට විරුද්ධ වන බොහෝ දෙනා දේශපාලන තීරණ වෙනුවට තමන්ගේ ප්‍රතිරූපයට වන හානි මත ඒවා කරනවාද යන්නයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *