ට්‍රම්ප්ගේ නියෝග වලට වෙනිසියුලාව නටන්න සුදානම් නෑ
(සමන් මුදුන්කොටුවගේ)
වෙනිසියුලාවේ තෙල් අපනයනය පෞද්ගලික අංශයට?
“ට්‍රම්ප්ගේ නියෝග වලට වෙනිසුවෙලාව නටන්න සුදානම් නෑ ” යයි වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිනි Delcy Rodriguez, ඊයේ හදිසියේ මාධ්‍ය වෙත පවසා සිටියාය. වෙනිසියුලාවේ ජනාධිපති නිකොලායි මදුරෝ පැහැර ගැනීමෙන් පසුව ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් වෙනිසියුලාව පාලනය කරන්නේ තමන් විසින් බවත් එරට තෙල් සංචිත පවතින්නේ තමන් භාරයේ යයි පැවසීමත් සමග වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිනිය ඇමරිකාවට එසේ පිළිතුරු සපයන ලදී. ජනවාරි 5 වන දින Delcy Rodriguez අන්තර්කාලීන රාජ්‍ය නායිකාව ලෙස දිවුරුම් දුන් පසුව ඇය වොෂින්ටනයට සහයෝගීතාවය පිළිබඳ සහතික ලබා දී ඇති බවද විවිධ විදේශ මාධ්‍ය මගින් වාර්තා කර සිටි.
කෙසේ වෙතත් ජනවාරි 30 වනදා එරට පාර්ලිමේන්තුව වසර 20කට පසුව රජයේ මැදිහත් වීමකින් තොරව එරට තෙල් අපනයනය සඳහා පුද්ගලික සමාගම් වලට අවසර දුන්නේය. එසේම විදේශ මාධ්‍ය වාර්තා කරනුයේ ඇමරිකාව හා වෙනිසුවෙලාවේ නව රජය අතර තෙල් අපනයනය, සිරකරුවන් නිදහස් කිරීම, විපක්ෂය සමග සහයෝගිතාව වර්ධනය යන කරුණු ඔස්සේ දෙරට අතර ගිවිසුමකට එළඹ ඇති බවයි. එසේම ඇමරිකානු සම්බාධක ඔස්සේ ඇමරිකානු බැංකු විසින් රඳවා ගෙන තිබෙන වෙනිසුවෙලාට අයත් ඩොලර් බිලියන 30 ක් එක්සත් ජනපදය නිදහස් කිරීමටද මෙම සම්මුතිය මගින් දෙපාර්ශවය එකඟ තාවයකට පැමිණි ඇති බවද වාර්තා වේ.
මේ දක්වා චීනය සඳහා ප්‍රධාන සැපයුම් කරුවා බවට පත්ව සිටින වෙනිසියුලාවේ තෙල් අපනයන පාලනය අත්පත් කර ගැනීමට ට්‍රම්ප් පරිපාලනයෙන් නව ජනාධිපතිනි Delcy Rodriguez,වෙත නිරන්තර පීඩනයට ලක් කරමින් සිටින අතර එසේ නොවුනහොත් යලි සම්බාධක පමුණුවන බවට තර්ජනය කරමින් සිටි. කෙසේ වුවත් ට්‍රම්ප් පවසා සිටින්නේ වෙනිසියුලාවේ වෙළඳ ගුවන් සේවා සඳහා පනවා තිබු තහංචි 30 වන දා සිට අවසන් කරනු ලබන බවයි. එම තහනම ඉවත් වීමත් සමග වෙනිසියුලාවේ රජය විදේශ ආයෝජකයින්ට තම රටට පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබිණි.
මේ අතර ඇමරිකාව විසින් සම්බාධක මත එරට බැංකු වල රඳවාගෙන සිටින තම රටේ මුදල් නිදහස් කිරීම සම්බන්ධයෙන් වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනිය අඟහරුවාදා කියා සිටියේ ඒවා රෝහල්, පාසැල් හා වෙනිසියුලානු ජනතාවගේ සුබ සාධනය සඳහා යොදා ගන්නා ලබනු බවයි. 2019 දී, ඔහුගේ පළමු ධුර කාලය තුළ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට එරෙහිව සම්බාධක මාලාවක් පැනවූ අතර, එවකට නිකොලස් මධුරෝගේ නායකත්වයෙන් යුත්, සමාජවාදී ජනාධිපතිවරයාගේ මතභේදාත්මක පළමු නැවත තේරී පත්වීමට ප්‍රතිචාර වශයෙන්, තෙල් අපනයනට තහනමක් ද පනවමින් ඇමරිකානු බැංකු තුල රඳවා තිබු විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 30ක් බලයෙන් අත්පත් කර ගන්නා ලදී.
කෙසේවෙතත් ජනාධිපති නිකොලා මදුරෝ පැහැර ගැනීමෙන් පසුව පත්වූ ජනාධිපතිනි හා ඊට මාස කීපයකට පෙර ඇය හා CIA සංවිධානය අතර සිදු වූ හමුවීමක්, මධුරෝ ගේ ආරක්ෂක අංශය තුල සාමාජිකයෙකු මිලදී ගැනීම මෙන්ම ඉන් පසුව ආරක්ෂක ඇමතිවරයා ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම වැනි කාරණා විදේශ මාධ්‍ය තුලින් මතු කිරීම නිසා පාලක සමාජවාදී පක්ෂය තුල හා ජනතාව අතරද අවිනිශ්විත තත්වයන් නිර්මාණය වීමට පටන් ගැනිණි. එසේම මෙම ඇමරිකානු ප්‍රහාරය නිසා මිය ගිය වෙනිසියුලානු හා කියුබානු හමුදා නිලධාරින් නිසාද දැවැන්ත ඇමරිකානු විරෝධයක් රට පුරා ගොඩ නැගුනේ ට්‍රම්ප් විසින් බලයට පත් කිරීමට නියමිතව සිටි විපක්ෂ නායිකාවද පසු පසට තල්ලු කරමිනි. අවසානයේ වැඩබලන ජනාධිපතිවරිය Delcy Rodriguez හා කියුබාව සමග ද යලි සම්බන්ධකම් අළුත් කර ගැනීමට සිදු වූ අතර තමන් ඇමරිකාවේ නියෝග වලට රට පාලනය නොකරන බවටද යලි යලිත් තහවුරු කිරීමට ඇයට සිදු විණි.
“ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ දේ මම නැවත නැවතත් තහවුරු කරමි: අපි එක්සත් ජනපද ජනාධිපතිවරයා සමග වැඩ කරන නව රාජතාන්ත්‍රික න්‍යාය පත්‍රයක් සංවර්ධනය කරමින් සිටින අතර රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සමඟ ද ගෞරවනීය සහ ආචාරශීලී සන්නිවේදන මාර්ග ස්ථාපිත කර ඇත්තෙමු,” යයි අන්තර්කාලීන ජනාධිපතිවරිය මාධ්‍ය වෙත එසේ ප්‍රකාශ කළේ ජනවාරි 25 වැනිදාය.
කෙසේ වෙතත් විදේශ මාධ්‍ය වාර්තා කරනුයේ ඇමරිකානු පීඩනය යටතේ, Delcy Rodriguez මාසය ආරම්භයේ සිටම එක්සත් ජනපදය සමඟ තෙල් ගිවිසුම් අත්සන් කර ඇති අතර, බලශක්ති නිෂ්පාදනය සඳහා ආයෝජකයින් කැඳවීමට ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති අතර, දේශපාලන සිරකරුවන් නිදහස් කර ඇති අතර, විපක්ෂය සමඟ ගිවිසුම් සඳහා ඔවුන්ට කැඳවුම් ද කර ඇති බවයි.
එසේම Delcy Rodriguez එක්සත් ජනපදයෙන් ඊයේ යලි ඉල්ලා සිටියේ ට්‍රම්ප්ගේ අත්තනෝමතික “අණ පිළිපැදීමට තමන් සුදානම් නොමැති බවත්” වෙනිසියුලානු අභ්‍යන්තර දේශපාලනයෙන් ඉවත්ව සිටින ලෙසයි. මේ වන විට වොෂිංටන් හි සිටින වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ වෙත ව්‍යංගයෙන් යුතුව ජනාධිපතිනිය පවසා සිටියේ රටේ නීතිය හා සාමය අවුල් කිරීමට නැවත තම මව්රටට නොපැමිණෙන ලෙසය.
වොෂින්ටනය මෙම අන්තර්කාලීන ජනාධිපතිවරිය ගේ පාලනය පිළිගනු ලැබුවද, ඇමරිකානු පීඩනය තවමත් අඛණ්ඩව පවතී. පසුගිය සතියේ, එක්සත් ජනපදය නිකරගුවාවේ හිටපු තානාපතිනි වරිය වූ ලෝරා එෆ්. ඩෝගු වෙනිසියුලාව සඳහා නව භාරකාරවරිය ලෙස පත් කළේය. මෙම තීරණය 2019 දී බිඳ වැටුණු දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම සඳහා වූ උත්සාහයක් වේ. ජනාධිපතිනියගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා සිටියේ රොඩ්රිගස් මහත්මිය “මදුරෝට අත්වූ ඉරණම ගැන හොඳින් දනී.”යයි යලි තර්ජනය කරමිනි.
වෙනිසියුලාවේ ව්‍යවස්ථාවේ මැතිවරණ සම්බන්ධයෙන් වූ වගන්තිද සඳහන් කරමින් ඔහු පැවසුවේ ධුර කාලයේ මැද භාගයට පෙර ජනාධිපති ධුරය හිස් බව ප්‍රකාශ කළහොත් නව මැතිවරණ පැවැත්විය යුතු බව වෙනිසියුලානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බවය. ඒ සමගම ට්‍රම්ප් පරිපාලනය විපක්ෂ නායිකාව සමග ද සාකච්චා ආරම්හ කළේය.
මේ සම්බන්ධයෙන් නිකොලස් මධුරෝ ගේ පුත්, “නිකොලාසිටෝ” (“පුංචි නිකොලස්”) ලෙස හැඳින්වෙන කොන්ග්රස් සභික නිකොලස් මධුරෝ ගුවෙරා අඟහරුවාදා AFP වෙත පැවසුවේ ජනාධිපතිවරයෙකු “පැහැර ගැනීමකට” ලක් වුව හොත් නව මැතිවරණ සඳහා නීතිමය විධිවිධාන ව්‍යවස්ථාවේ සඳහන් කර නොමැති බවත් ඔහු තරයේ කියා සිටියේ මැතිවරණ සඳහා “කාල සීමාවක් නැත,”යන්නයි. “නව මැතිවරණ සලකා බලනු නොලැබේ.” යයි ඔහු තව දුරටත් පවසා සිටියේය
වසර ගණනාවක් තිස්සේ, ලොව විශාලතම ඛනිජ තෙල් සංචිතය හිමි එනම් ගෝලීය තෙල් සංචිතවලින් ආසන්න වශයෙන් 20% ක් හිමි වෙනිසියුලාවේ තෙල් හා මිනිරන් අත්පත් කර ගැනීම සඳහා ඇමරිකාව හා වෙනිසියුලාව අතර ගැටුම් වල තෝතැන්නක් බවට එරට පත් වී ඇත. පැහැරගත් ජනාධිපති නිකොලස් මධුරෝ මත්ද්‍රව්‍ය ජාවාරමට මුදල් සැපයීම සඳහා තෙල් භාවිතා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණි මොහොතේ සිටම විශේෂයෙන් ප්‍රකාශ කල අතර වෙනිසියුලාව ඇමරිකානු තෙල් “සොරකම්” කළ බවට ද චෝදනා කරනු ලැබුවේය. 1920 ගණන්වල සිට 1976 දී රටේ තෙල් කර්මාන්තය ජනසතු කරන තෙක් බොහෝ ඇමරිකානු පිරිපහදු මධ්‍යස්ථාන විසින් වෙනිසියුලානු තෙල් අපනයනය සිදු කලේ ඇමරිකානු සමාගම් විසිනි. මෙම කාලය තුළ, වෙනිසියුලානු භූමියෙන් ලබාගත් බොරතෙල් සැකසීම සඳහා බොහෝ ඇමරිකානු පිරිපහදු පවා ඉදිකරන ලදී.
2008 දී දිනකට බැරල් මිලියන 3.5 ක් වූ වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය, OPEC සංවිධානයට අනුව, එක්සත් ජනපද සම්බාධක සහ දූෂණය සහ වැරදි කළමනාකරණයෙන් පීඩා විඳි එහි නිස්සාරණ පද්ධතියේ බිඳවැටීම හේතුවෙන් දිනකට බැරල් මිලියනයකට වඩා අඩු මට්ටමකට අද වන විට පහත වැටී ඇත. රට දැන් කළු වෙළඳපොලේ තෙල් නිෂ්පාදනය සැලකිය යුතු ලෙස අඩු මිලකට, ප්‍රධාන වශයෙන් චීනයට හා යුරෝපා සංගමයේ රටවලට විකුණයි. ඊට ප්‍රතිචාර වශයෙන්, වොෂින්ටනය වෙනිසියුලාවට හෝ ඉන් පිටතට ගමන් කරන “අනුමත කරන ලද ටැංකි නැව්” වලට එරෙහිව “සම්පූර්ණ අවහිරයක්” නිවේදනය කළේය – නැව් කිහිපයක් අල්ලා ගනු ලැබුවේ එරට වැසියන්ද මරා දමමිනි. එසේම 2014 සහ 2021 අතර දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන් වෙනිසියුලාව, වෙනිසියුලානු ආර්ථිකය 2025 දී අධි උද්ධමනය 500% ඉක්මවනු ලැබිණි.
මෙම තත්වය තුල තෙල් නිෂ්පාදනය පෞද්ගලික අංශයට විවෘත කිරීම අරමුණු කරගත් එක්සත් ජනපදයේ පීඩනය යටතේ වෙනිසියුලානු පාර්ලිමේන්තුව ජනවාරි 30 වන බ්‍රහස්පතින්දා එහි හයිඩ්‍රොකාබන් නීතියේ ප්රතිසංස්කරණයක් සිදු කරනු ලැබුවේය. එමගින් තෙල් සංචිත නැවත ගොඩ නැගීමත්, ප්‍රවර්ධනය කිරීමත් අපනයනය කිරීමත් පුද්ගලික අංශයට හා ඇමරිකානු තෙල් සමාගම් වලට හිමි වීමට නියමිතව ඇත. මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ තෙල් සම්පත පුද්ගලික අංශය වෙත විවෘත කිරීමෙන් සහ ඔවුන් ගෙන් අයකර ගන්නා බදු අඩු කිරීමෙන් විදේශ හා දේශීය පුද්ගලික සමාගම් සඳහා වඩාත් වාසිදායක කොන්ත්‍රාත්තු වෙත ඉඩ සැලසීමට ද අදහස් කෙරෙන අතර එය 2013 දී මියගිය හිටපු ජනාධිපති හියුගෝ චාවේස්ගෙන් උරුම වූ සමාජවාදී ආභාෂය ලත් තෙල් ආකෘතියට එනම් තෙල් අපනයනය සඳහා වූ රජයේ මැදිහත් වීම අවසන් වනු ඇත.
මේ දක්වා, තෙල් නිෂ්පාදනය රාජ්‍යයේ හෝ රාජ්‍යයේ බහුතර කොටස් හිමිකරගත් ඒකාබද්ධ ව්‍යාපාරවල ඒකාධිකාරය මත පමණක් සිදු විණි. පෞද්ගලික ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකාරකම් ඉතාමත් සීමිත විය. 2006 දී හියුගෝ චාවේස්ගේ රජය විසින් කරන ලද නීති ප්‍රතිසංස්කරණ මගින් සියලුම සමාගම්වල තුල බහුතරය මහජන අයිතිය සඳහා අනිවාර්ය කරන ලද අතර ඉහළ බදු ස්ථාපිත කරන ලද අතර බෙදා හැරීම රාජ්‍ය සමාගම් වලට පවරන ලදී. හයිඩ්‍රොකාබන් නීතියේ නව අනුවාදය දැන් පුද්ගලික සමාගම්වලට රාජ්‍ය සහභාගීත්වයෙන් තොරව නිෂ්පාදනය නිස්සාරණය කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට ඉඩ සලසන ගිවිසුම් අත්සන් කිරීමට අවසර දී ඇත. බදු ක්ෂේත්රය සම්බන්ධයෙන් ගත් කල, ප්‍රතිසංස්කරණය මඟින් වඩාත් නම්‍යශීලී රාමුවක් හඳුන්වා දෙන අතර, පවතින බහුවිධ බදු වෙනුවට 15% ක තනි දායකත්වයක් සහ දළ ආදායම මත උපරිම ප්‍රතිශතයක් සහිත 30% ක් ලෙස ප්‍රතිස්ථාපනය කරයි. ව්‍යාපෘතිය අනුව මෙම අනුපාත සකස් කිරීමේ අයිතිය රජයේ විධායක බලය සතුය. එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරනුයේ මෙම ප්‍රතිසංස්කරණය ආර්ථික ස්වෛරීභාවය සඳහා ලීවරයක් ලෙස ඉදිරිපත් කෙරේ. වෙනිසියුලාවේ මූල්‍ය ස්වාධීනත්වය සහතික කරමින් රජයේ උපායමාර්ගික සම්පත් පාලනය ආරක්ෂා කිරීම” මෙමගින් ඉලක්ක කරන බව අන්තර්වාර ජනාධිපති Delcy Rodriguez අවධාරණය කළ බවයි. ඒ අනුව හයිඩ්‍රොකාබන් වල ඵලදායී සහභාගීත්ව ගිවිසුම් 29 ක් දැනටමත් අත්සන් කර ඇති” බව මාධ්‍ය පෙන්වා දෙන අතර එය ඩොලර් මිලියන 900 කට ආසන්න ආයෝජන ආකර්ෂණය කර ගෙන ඇති බව වාර්තා වේ.
පනත සම්මත කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව ඇමතු ජනාධිපතිනි Delcy Rodriguez මෙසේ පවසා සිටියාය.
“අද දිනයේ ඒකමතව සම්මත කරගත් ඛණිජ තෙල් සම්පත පිළිබඳ ප්‍රතිසංස්කරණය එයතිහාසික ඉදිරි පියවරක් රටේ අනාගතය සඳහාත්, අපගේ දියණියන් සහ පුතුන්ගේ අභිවෘද්ධිය සඳහා හා අපගේ ජනරජයේ සමෘද්ධිය සඳහාත්, සංවර්ධනය සඳහාත් අත්‍යවශ්‍ය වනු ඇත” යයි පවසා සිටියාය.
කෙසේ වෙතත් නව නීතියට අනුව, වෙනිසියුලානු ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ව්‍යාපාර සැලැස්මක් මත පදනම්ව තම මූල්‍ය හා තාක්ෂණික ධාරිතාව පෙන්නුම් කිරීමෙන් පසු, පෞද්ගලික සමාගමක් “තමන්ගේම වියදමින් සහ අවදානමෙන් මෙහෙයුම්වල සම්පූර්ණ කළමනාකරණය භාර ගනු ඇත” එහි යනුවෙන් සඳහන් වන බව මාධ්‍ය වාර්තා පෙන්වා දේ.
ඒ අනුව වෙනේසුවේලාවේ තෙල් සම්පතේ අයිතිය තවදුරටත් රජය සතුව පවතින බව ප්රතිසංස්කරණයෙන් පැහැදිලි වේ.
පාලක පක්ෂය විසින් පාලනය කරනු ලබන වෙනිසියුලානු අධිකරණවල පමණක් පුද්ගලික අංශය හා රජය අතර ඇතිවන එකඟ නොවීම් විසඳීමේ අවශ්‍යතාවය යන්න ඉවත් කරමින්, නව නීතිය මඟින් ආරවුල් ස්වාධීන අධිකරණ මගින් බේරුම් කර ගැනීමට ද අවසර ලබා දී ඇත. ස්වාධීන බේරුම්කරුවන්ගේ මැදිහත්වීම මගින් රජයේ ඍජු අත්තනෝමතික මැදිහත් වීමෙන් අත්පත් කර ගැනීම්වලට එරෙහිව එම නිසා තම ආයෝජන සඳහා වැඩි ආරක්ෂාවක් සපයනු ඇතැයි විශ්වාස කරන බව විදේශීය ආයෝජකයින් විසින් මෙම පියවර අගය කර ඇති බව ද වාර්තා වේ. පසුගිය දා ට්‍රම්ප් ප්‍රකාශ කලේ වෙනිසියුලානු තෙල් අපනයනය යලි ගොඩ නැගීමට නම් ඩොලර් බිලියන 100ක් අවශ්‍ය බවත් එය වසර 10ක කාලයක දීර්ඝ ආයෝජනයක් විය හැකි බවයි.
ඒ අනුව වෙනිසියුලානු තෙල් අපනයනය යලි සාක්ෂාත් කරගනු ලැබුවේ සරල නීති ප්රතිසංස්කරණයක් මගින් වුවත් එමගින් 2019 දී ට්‍රම්ප් විසින් පනවන ලද සම්බාධක අර්ධ වශයෙන් අත්හිටුවීම පිළිබඳ වොෂින්ටනය ද නිවේදනයක් මගින් පිළිගත්තේය.
“අපි ඓතිහාසික පියවර ගනිමින් සිටිමු. අද මට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගෙන් ඇමතුමක් ලැබුණා. මෙම නීතියේ ප්‍රධාන අරමුණ වනුයේ ලෝකයේ විශාලතම තෙල් සංචිත අප සතුව ඇති බව පැවසීම නවතා මුළු පෘථිවියේම ප්‍රමුඛතම තෙල් නිෂ්පාදකයින් අතර අප සිටින බව පැවසීමයි” යයි ඛණිජ තෙල් අංශයේ සේවකයින් විසින් රජයට පක්ෂපාතී රැලියකදී වෙනිසියුලානු අන්තර්වාර රජයේ කතා නායක ජෝර්ජ් රොඩ්රිගස් ඔවුන් අමතා ප්‍රකාශ කළේය.
වොෂින්ටනය වෙනිසියුලානු රජයේ (පෙට්රොලියෝස් ද වෙනිසියුලාව හෙවත් (PDVSA) මත පනවා ඇති සම්බාධක ඉවත් කළ බවත් එමඟින් එක්සත් ජනපද සමාගම්වලට මෙම තම රජය සතු තෙල් දැවැන්තයා සමඟ වෙළඳාම් කිරීමට ඵලදායී ලෙස අවසර ලබා දුන් බවත් තෙල් අංශ සේවකයින්ට දැනුම් දුන්නේය.
මේ අතර වෙනෙසුවෙලානු රජයේ ප්‍රධාන තෙල් සමාගම වන PDVSA විසින් සිදු කරන ලද ගනුදෙනු මෙන්ම අවම වශයෙන් කොටස් වලින් 50% ක් ලෙස ඔවුන් සතුව ඇති සමාගම්වල අයිතිය විදේශ හා පුද්ගලික සමාගම් සමග ගනුදෙනු සඳහා දැන් අවසර දී ඇත,” යයි එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ජනවාරි 30 සිකුරාදා ප්‍රකාශ කළේය.
මධුරෝ පැහැර ගැනීමෙන් පසුව වෙනිසියුලානු ජනතාවගේ නැගිටීමක් නොවීමත්, වසර 20ක කාලය තුල බොලිවාර් ජාතික වාදය තව දුරටත් රට තුල ශක්තිමත් වීමත්, පවතින සමාජවාදී රජය සමග ස්ථාවර රාජ්‍යයක් ලෙස පිළිගෙන තම ආර්ථික අරමුණු ඉටුකර ගැනීමට ඇමරිකාවට මේ වන විට අවශ්‍ය වී ඇති බව රහසක් නොවන බව මෙම ඇමරිකානු-වෙනිසියුලානු නව සම්මුතිය පිළිබඳව අදහස් පල කරමින් දේශපාලන විචාරකයින් පවසා සිටි. එසේම සමාජවාදී පක්ෂ නායකයින්ද වෙනිසියුලානු සමාජය තුලින්ම එන ඇමරිකන් විරෝධී පීඩනය තුලත්, ආර්ථික අර්බුධයත් හේතුවෙන් යම් යම් කොන්දේසි වලට යටත්ව ඇමරිකාව සමග තෙල් සම්පත දෙපාර්ශ්වයටම වාසි දායක ලෙස බෙදා ගැනීමටත්, තෙල් ගවේෂණය, බෙදාහැරීම හා විකිණීම සඳහා විදේශ හා දේශීය පුද්ගලික අංශය මගින් නව තාක්ෂණය ගෙන්වා ගැනීමටත් ඒ අනුව බල කෙරී ඇති බවටද ඔවුන් පෙන්වා දේ.
වෙනිසියුලාවේ තෙල් සම්පතින් ලබා ගන්නා ඉහල ලාභය එම ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ලබා දීමට තමන් ඍජුවම මැදිහත් වන බවට ට්‍රම්ප් විසින්ම පැවසීමෙන් වෙනිසියුලානු විප්ලවය වෙන කවර දාටත් වඩා හොඳින් ආරක්ෂා වී ඇති බවට ද ඔවුහු තව දුරටත් පෙන්වා දේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

