Latestදේශීය

සමින්ද්‍ර රාජපක්ෂට වරෙන්තු

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පළල් බඳ සහිත නව ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල සැකකරුවකු ලෙස නම් කළ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් සමින්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (02දා) නියෝග කළේය.

දැනට ඇමරිකාවේ පදිංචි බව කියන එම සැකකරු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. නීතිපතිවරයාගේ උපදෙස් මත එම සැකකරු මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් නඩුව කැඳවමින් අධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේදී 2011 – 2015 වසරවල සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව අත්අඩංගුවට ගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ මින් පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි.

2018.08.03 වැනිදා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ රවින්ද්‍ර හේවාවිතාරණ මහතා ජේ. සී. වැලිඅමුණ විමර්ශන කමිටුව හමුවේ ලබාදුන් සාක්ෂියක් පදනම් කරගෙන එකී විමර්ශන ආරම්භ කොට තිබිණි.

එම ගුවන් යානා ගෙන්වීමට මැදිහත් වූ රෝල්ස් රොයිස් සමාගම, එයාර් බස් සමාගම ඇතුළු සමාගම් කීපයක එකී විමර්ශනවලට අදාළ ලේඛන සුරක්ෂිතව තබන ලෙස එම සමාගම්වලට අධිකරණය විසින් මින් පෙර නියෝග කොට තිබිණි. එකී අයථා ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත් රුපියල් කෝටි 26ක පමණ මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *