Latestදේශීය

නාමල්ගෙන් ශිරන්තිගෙන් පැය ගණනක් ප්‍රශ්ණ කරයි

පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය හතරක් ද ‘සිරිලිය’ නමින් ගිණුමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පැය තුනක් ද ප්‍රශ්න කර ඊයේ (03 දා) ප්‍රකාශ ලබාගෙන ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා ඊයේ (03 දා) පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා සමග සමීප සබඳතා පැවැත් වූ බවට නාමල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබිණි.

කෙහෙල්බද්දර පද්මේගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් මේ බව අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා පසුගියදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් දී තිබුණ ද රටින් බැහැරව සිටීම නිසා ඒ මහතාට ඊට සහභාගි වීමට නොහැකි විය. ඒ අනුව මෙම ප්‍රශ්න කිරීම් සඳහා ඊයේ පැමිණෙන ලෙස ඒ මහතාට දැනුම් දී තිබිණි.

මේ අතර ‘සිරිලිය’ නමින් ගිණුමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද ඊට ප්‍රකාශ ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියාය.

‘සිරිලිය’ ගිණුමේ තිබූ මුදල්වලින් කොළඹ නිවසක් මිලදී ගත් බවට මෙන්ම තවත් චෝදනා රැසක් ඇය වෙත එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඉකුත් සතියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර තිබිණි. එහෙත් ප්‍රකාශ ලබාදීම සඳහා වෙනත් දිනයක පැමිණෙන බව ඇය දැනුම් දී තිබිණි. ඒ අනුව ඊයේ පෙරවරුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියාය.

නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටීමට පැමිණෙද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවෝ විශාල පිරිසක් ද එහි පැමිණ සිටියහ. විශාල පිරිසක් පැමිණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැස්වීම නිසා කොළඹ යෝර්ක් වීදියේ දැඩි වාහන තදබදයක් ද පැවතිණි.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *