Latestදේශීයනවතම ලිපිමතවාද

කස්සප සිද්ධිය සහ උතුරේ ප්‍රශ්ණය එකවර හමුවීම

(වංගීස සුමනසේකර)

කස්සපට ක්‍රියාත්මක වන නීතිය උතුරේ ‘දෙමළ නිජභූමිය’ සහ ‘බාහිර ස්වයන්-නිර්ණ අයිතිය’ යනුවෙන් දැක්වෙන බැනරයක් ප්‍රදර්ශනය කරන තරුණ පිරිසකට ක්‍රියාත්මක නොවන්නේ ඇයිද කියා ආන්තික සිංහල ජාතිකවාදීන් මගෙන් විමසා තිබුණි. මේ අයට පිළිතුරු දීම නිරර්ථක වැඩක් බව මගේ ජීවන අත්දැකීම් මට හොඳින් කියා දී තිබේ.

නමුත් මෙවැනි ආන්තික ස්ථාවර නියෝජනය නොකරන සාමාන්‍ය ජනයාට මේ සංවාදය යම් යම් අවස්ථාවන්වලදී අපට රැගෙන යාමේ ඉඩ විවර වෙයි. අප දැන් පසුකරමින් තිබෙන්නේද මෙවැනි ඓතිහාසික අවස්ථාවකි. අද දකුණේ සිංහල ජාතිවාදීන්ගේ බලය දුර්වලව තිබේ. එනිසා එවැනි අයට බලය තිබෙන විට කිව නොහැකි සමහර දේ අපට දැන් සාමාන්‍ය සිංහල සමාජයට ගෙන යාමට උත්සාහ කළ හැකිය.

මෙය අතිශය අභියෝගාත්මක දෙයක් වන කරුණු දෙකක් තිබේ. එකක් වන්නේ සිංහල සහ දෙමළ වාර්ගික දේශපාලනයන් දෙක අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා පෝෂණය කිරීමයි. දෙවැන්න වන්නේ මෙහිදී පාර්ශව දෙක සමානයන් ලෙස සැලකීමට නොහැකි වීමයි. සත්‍ය වශයෙන්ම මෙහිදී ප්‍රශ්නයක් තිබෙන්නේම මේ පාර්ශවයන් දෙක එක සමාන නොවන නිසාය.

නිදර්ශනයක් ලෙස අද දින නිදහස් උළෙල අවසන් වූ සැනින් රජයේ රූපවාහිනී නාලිකාවන් දෙකේම විකාශය වූයේ සිංහල කේන්ද්‍රීය දේශාභිමානි ගීත සහ නැටුම් වැනි දේය. ස්වාධීන රූපවාහිනිය අවසානයේ නතර වූයේ ඍජුව දෙමළ ජනයාට මේ රටේ අයිතියක් නොමැති වනවා කියා කියන අනගාරික ධර්මපාලගේ වචන ඇතුලත් චිත්‍රපටියක් පෙන්වමිනි.

අපේ රටේ දෙමළ ජනයා ඉල්ලා සිටින්නේ තමන්ව මෙලෙස බැහැර කරන්නේ නොමැතිව තමන්ද මේ රටේ සමාන අයිතිකරුන්ව ලෙස සලකන්න කියාය. දෙමළ ජනයා අපට මෙහිදී අසාධාරණයට ලක්ව ඇති පාර්ශවය ලෙස ගැනීමට සිදුවන්නේ මේ නිසාය.

නමුත් මෙම ඉල්ලීම නිශ්චිතව සූත්‍රගත වන ආකාරය තීරණය වන්නේ දකුණේ දේශපාලනයට ප්‍රතිචාර ලෙසයි. එය ෆෙඩරල් පාලනයක්, වෙනම රාජ්‍යයක්, 13+ ආදී ලෙස විවිධ ඓතිහාසික තත්වයන් යටතේ වෙනස් වෙයි. මෙවැනි සූත්‍රගත කිරීම් සෑම විටම කේවල් කිරීමට යටත්ව තිබෙනා යෝජනා පමණි. වැදගත් වන්නේ එකිනෙකා දෙස සැකයෙන් බලන්නේ නොමැතිව සියලු දෙනා සමානයන් ලෙස සැලකෙන එකඟතාවයක් ඇති කර ගැනීමයි.

ප්‍රශ්නය අවසන් කිරීම දකුණේ ජාතිවාදය පරාජය කිරීමෙන් ආරම්භ කිරීම අනිවාර්යය වන්නේ මේ නිසාය. ඔවුන් ජාතිවාදී වන්නේ ඔවුන්ට අනුව, නිදර්ශනයක් ලෙස, ජාතික රූපවාහිනියේ සිංහල දේශාභිමානී ගීත වාදනය වීම නිවැරදි වන නිසාය. එමගින් දෙමළ ජනයා අපේ රටේ ජාතික නිදහස් දිනයෙන් බැහැර වීම ඔවුන් ඉවසයි. ඔවුන්ට අනුව එය අනිවාර්යයතාවයකි. එය ලෝකයේ කොහෙත් සුළු ජාතිකයාගේ දෛවය කියා ඔවුන් සිතයි. එනිසාම ඔවුන් උත්සාහ කරන්නේ එම අසමානතාවය නඩත්තු කිරීමටයි. එනිසාම මොවුන් උතුරේ දේශපාලන ඉල්ලීම එහි ආන්තික ප්‍රකාශමානවීම දක්වා තල්ලු කරයි. එසේ වූ සැනින් නැවතත් එය පෙන්වා දකුණේ සිය දේශපාලනය ශක්තිමත් කරගැනීමට ඔවුන්ට අවස්ථාව විවර වෙයි.

මෙවැනි අය දුර්වල වී ඇති මොහොතක ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය බිඳ දැමීම දේශපාලනිකව අත්‍යවශ්‍ය වන්නේ මේ නිසාය. උතුරේ සහ දකුණේ සමාජයන්වල විශ්වාසය එක ලෙස දිනාගත හැකි දේශපාලන නායකත්වයක් අපට දැන් තිබේ. මෙය අපේ රටට ලැබී ඇති ඓතිහාසික අවස්ථාවකි. අප හැකිතාක් මේ ප්‍රශ්නයේ සරල මානය මිනිසුන්ට පැහැදිලි කර දිය යුතුය. මින් අදහස් වන්නේ දකුණේ ආන්තික වර්ගවාදීන්ට මෙය ‘පැහැදිලි කර දීම’ නොවේ. එවැන්නක් මේ භද්‍ර කල්පයේදීනම් කළ හැකිය කියා මා සිතන්නේ නැත. ඔවුන් සම්බන්ධයෙන් කළ හැකි එකම දෙය වන්නේ ඔවුන් දේශපාලනිකව පාරාජය කර දේශපාලනයෙන් අතුගා දැමීමයි. ඒ වෙනුවෙන් ගත හැකි ඕනෑම පියවරක් ගැනීමට අප දෙවරක් සිතිය යුතු නොවේ.

එසේ කිරීමේදී ඔවුන් උතුරේ ආන්තික ඉල්ලීම් ඉදිරිපත් කරන අයට සමාන ලෙස දකුණේ ආන්තික ඉල්ලීම් ඉදිරිපත් කරන අයව නොසැලකීම දුක්ගැනවිල්ලක් ලෙස අනිවාර්යයෙන් ඉදිරිපත් කරනු ඇත. නමුත් මෙය අසමාන පාර්ශව දෙකක් අතර ගැටුමක් අවසන් කිරීමේ මග හැරිය නොහැකි තීරණයයි. එහිදී ආධිපත්‍ය හිමි පාර්ශවයේ අන්තවාදය අප අවසන් කළ යුතුව ඇත. එය අවසන් වනවා යනු ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහිව කේවල් කරන අනෙක් පාර්ශවයේ ආන්තික ඉල්ලීම්ද අමතක කර දැමීමට අපට ඉඩ ලැබෙනවා යන්නයි.

ඒ වෙනුවට අපට දැන් පාර්ශව දෙකේම ආන්තික ඉල්ලීම් වෙනුවට සත්‍ය වශයෙන්ම සාමාන්‍ය බහුතරයකගේ ජීවිතයට අවශ්‍ය කුමක්ද යන් ප්‍රශ්නය සාකච්ඡා කළ හැකිය. එනිසාම මෙය එකිනෙකා දෙස සැකයෙන් බැලීම හැකිතාක් අවම කරනා විසඳුම් වෙත යාමට අපට මග විවර කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *