නිදහස් සැමරුම පිලිබද බීබීසී සටහන
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීම සම්බන්ධ ඉතිහාසය පිළිබඳ විස්තර ඇතුලත් පුළුල් සටහනක් බීබීසී සිංහල වෙබ් අඩවියේ පළ කර ඇත.
එහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන්නේ පොන්නම්බලම් රාමනාදන් සහ පොන්නම්බලම් අරුනාචලම්, ජේම්ස් පීරිස් වැනි ශ්‍රී ලාංකික උගතුන් නිදහස සම්බන්ධයෙන් ගෙන ගිය පුරෝගාමී කාර්යභාරය පිළිබඳව ය. එම සම්පූර්ණ සටහන උපුටා ගෙන පහත දැක්වේ.
ශ්‍රී ලංකාවට පූර්ණ නිදහසක් ලැබුණේ කොහොම ද? පෙබරවාරි 04 අප සමරන්නේ කුමක් ද?
ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය අද දිනයට දී තිබේ. 1948 සිට මේ දක්වා සෑම වසරක ම ශ්‍රී ලාංකිකයෝ පෙබරවාරි 04 වන දින නිදහස් දිනය ලෙස සමරති.
ශ්‍රී ලංකාව පූර්ණ යටත් විජිතයක්ව පැවති කාලයේ සිට ම නිදහස ලබා ගැනීම සඳහා විවිධ අවස්ථාවල කැරලි පවා ඇති විය.
අවුරුදු 130කට අධික කාලයක් තිස්සේ පූර්ණ යටත් විජිතයක් බවට පත්ව සිටි ශ්‍රී ලංකාව, 1948දී අර්ධ නිදහසක් ලබා ගැනීම දක්වා විවිධ අවධීන් පසු කර පැමිණ තිබේ.
බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීම
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්වීමේ ප්‍රධාන සංධිස්ථාන තුනක් හඳුනාගත හැකි ය.
- 1796 වසරේදී බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය අල්ලා ගැනීම
- 1802 වසරේදී බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමේ පාලනය යටතේ තිබූ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයට නතු වීම
- 1815 වසරේදී උඩරට ගිවිසුම හරහා උඩරට රාජධානිය ඇතුළු ශ්‍රී ලංකාවේ පාලනය ඉංග්‍රීසින් යටතට පත්වීම
1796දී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කර ගැනීමෙන් පසුව 1798 දක්වා කාලය තුළ එම ප්‍රදේශ පරිපාලනය සඳහා ඉන්දියාවේ මදුරාසියෙන් ගෙන්වූ නිලධාරීන් යොදාගෙන තිබිණි.
එම කාලය තුළ එම පරිපාලනය අදායම වැඩි කර ගැනීම සඳහා විවිධ බදු වර්ග හඳුන්වා දුන් අතර, පරිපාලනය සඳහා ශ්‍රී ලංකාවේ නිලධාරීන් සම්බන්ධ කර නොගැනීමත්, අධික බදු පැනවීමත් සමග දේශීය ජනතාව තුළ ඉංග්‍රීසි පරිපාලනය සම්බන්ධයෙන් යම් විරෝධයක් ඇති වීම ආරම්භ විය.
1797දී එම අසාධාරණ බදු සහ මදුරාසි නිලධාරීන්ට එරෙහිව මුහුදුබඩ ප්‍රදේශවල කැරලිකාරී තත්ත්වයක් ඇති වූ අතර ඉන්පසුව එම තත්ත්වය මැඩපැවත්වීමෙන් පසුව මියුරන් කොමිසම නම් කොමිසමක් හරහා නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව, මදුරාසි නිලධාරීන් වෙනුවට දේශීය නිලධාරීන් පරිපාලන කටයුතු සඳහා යොදා ගැනීම, පොල් ගස් බද්ද ඇතුළු නව බදු අවලංගු කිරීම වැනි නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කෙරිණි.
1798 වසරේදී ශ්‍රී ලංකාවට පළමු වරට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙකු පත්වූ අතර එම ආණ්ඩුකාරවරයා වූයේ, ෆෙඩ්රික් නෝර්ත් ය.
1798 සිට 1802 කාලය දක්වා ශ්‍රී ලංකාවේ ද්විත්ව පාලනයක් ගෙන යාමට පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම සහ බ්‍රිතාන්‍ය කිරීටය කටයුතු කළ අතර, පසුව 1802දී ද්විත්ව පාලන ක්‍රමය අවසන් කෙරිණි.
මෙම කාලය තුළ උඩරට රාජධානිය යටත් කර ගැනීමට ඉංග්‍රීසි පරිපාලනය අවස්ථා කිහිපයකදී ම උපාය මාර්ගිකව කටයුතු කරමින් සිටියේ ය.
1803 වසරේදී ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ මෙහෙයවීම යටතේ උඩරට ආක්‍රමණයක් සිදු කළ නමුත් එය අසාර්ථක විය.
එම ආණ්ඩුකාරවරයාගෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා උඩරට සමග සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා ජෝන් ඩොයිලි නම් දූතයා යොදා ගත්තේ ය.
ඒ වන විට උඩරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සම්බන්ධයෙන් ජනතාව සහ රදළයන් තුළ ඇතිව තිබූ කනස්සල්ල ද වාසියට හරවා ගනිමින් 1815 වන විට මුළු දිවයින ම ඉංග්‍රීසි පාලනයට නතු කර ගැනීමට ඉංග්‍රීසීහු සමත් වූහ.
1815 ජනවාරි මාසයේදී ඉංග්‍රීසින් නැවතත් උඩරට ආක්‍රමණයක් දියත් කළ අතර, 1815 පෙබරවාරි 18 වන දින රජු සහ බිසෝවරුන් ඉංග්‍රීසින්ට අල්ලා දීමට උඩරට ජනතාව කටයුතු කළහ.
1815 මාර්තු 02 වන දින මහනුවර මගුල් මඩුවේදී අත්සන් කෙරුණු උඩරට ගිවිසුමෙන් උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරීටයට යටත් විය.
ඒ සඳහා උඩරට රදළයන් සහ එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්රවුන්රිග් අත්සන් තබා තිබේ.
1818 කැරැල්ල
බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ වී වසර තුනක් ගතව යාමටත් පෙර ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ කැරැල්ලක් ඇති විය.
රාජ්‍යත්වයට උරුමකම් කියන බවට පැවසෙන දොරේසාමි නම් පුද්ගලයෙකු වටා මෙම කැරැල්ල නිර්මාණය වී තිබූ අතර, කොහුකුඹුරේ රටේ රාළ වැනි අය එම කැරැල්ලට සහය දක්වා තිබිණි.
පසුව ඉංග්‍රීසින් විසින් කැරැල්ල මැඩපැවැත්වීමට යවනු ලැබූ කැප්පෙටිපොළ දිසාව ද කැරලිකරුවන්ට එකතු වීමත් සමග උඩරට රදළයෝ ද ඊට සහය දැක්වූහ.
නමුත් එම කැරැල්ල මැඩපැවැත්වීමට ඉංග්‍රීසින් කටයුතු කළ අතර, 1818 නොවැම්බර් මාසයේදී කැප්පෙටිපොළ සහ මඩුවන්වෙල දිසාව යන දෙදෙනා හිස ගසා මරා දැමිණි.
කෝල්බෲක් ප්‍රතිසංස්කරණය සහ 1848 කැරැල්ල
1828 වන විට ශ්‍රී ලංකාවෙන් ලබා ගත් ආදායමට වඩා වැඩි වියදමක් පරිපාලන කටයුතු සඳහා වියදම් වීමත් සමග මෙම තත්ත්වය අධ්‍යයනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහා යටත් විජිත භාර ලේකම්වරයා විසින් කෝල්බෲක් කොමිසම පත් කරන ලදී.
මෙම ප්‍රතිසංස්කරණය සමග රටේ පාලනය සඳහා ව්‍යවස්ථාදායක සහ විධායක සභා පිහිටුවනු ලැබූ අතර, පරිපාලන කටයුතු සඳහා පළාත් පහකට බෙදා පාලනය කිරීම ආරම්භ විය.
1833දී පැමිණි මෙම ප්රතිසංස්කරණයෙන් පසුව, 1840දී පැමිණි මුඩුබිම් පනත සමග බොහෝ වගා නොකළ, නීත්‍යනුකූල අයිතියක් පෙන්වීමට නොහැකි වූ ඉඩම් විශාල ප්‍රමාණයක් රාජ සන්තක කෙරිණි.
තව ද 1848 වසර වන විට එවකට ආණ්ඩුකාරවරයා වූ ටොරින්ටන් සාමිවරයා විසින් නව ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු විශාල බදු ප්‍රමාණයක් හඳුන්වා දෙනු ලැබීමත් සමග ජනතාව තුළ තිබූ විරෝධය උත්සන්න විය.
මාතලේ මුල් කර ගනිමින් 1848දී ද සටන් ඇරඹුණු අතර, එයට ගොන්ගාලේගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු වැනි අය සම්බන්ධ වී සිටියහ.
නමුත් ඉංග්‍රීසි පාලනය වහා ම සන්නද්ධ හමුදා යොදවා එය මර්දනය කිරීමට කටයුතු කළේ ය.
20 වන සියවසේ ප්‍රතිසංස්කරණ
20 වන සියවසේ මුල් භාගයට පැමිණෙත් ම උගත් ලාංකිකයන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා උද්ඝෝෂණ කිරීම ආරම්භ කර තිබිණි.
මුල් කාලයේ උද්ඝෝෂණවලට නායකත්වය ලබා දුන් පිරිස අතරට, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් යන නම් දැකිය හැකි ය.
නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව දීර්ඝව පැහැදිලි කරමින් මධ්‍යම පන්තික උගත් ලාංකිකයෙකු වූ ශ්‍රීමත් ජේම්ස් පීරිස් විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් ද යටත් විජිත භාර ලේකම්වරයාට යවනු ලැබී ය.
ඒ අනුව, 1910 වසරේ හඳුන්වා දුන් කෲව් – මැකලම් ආණ්ඩුක්‍රම ප්රතිසංස්කරණයෙන් සීමිත ඡන්ද බලය හරහා නියෝජිතයන් හතර දෙනෙකු පත් කර ගැනීමේ අවස්ථාව හිමි විය. ඒ අතරෙන් එක් අයෙකු ලෙස උගත් ලාංකිකයෙකු පත් කර ගැනීමට අවස්ථාව හිමි විය.
ඒ සඳහා පත්වූ පළමු ලාංකිකයා වන්නේ, පොන්නම්බලම් රාමනාදන් ය.
1919දී ලංකා ජාතික සංගමය පිහිටවූ අතර එය ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේ ජාතික ව්‍යාපාරයේ සංධිස්ථානයක් ලෙස සැලකෙයි.
වාර්ගික භේදයකින් තොරව ඒ සඳහා නියෝජිතයන් එක්වීම විශේෂත්වයකි. එහි පළමු සභාපතිවරයා වූයේ පොන්නම්බලම් අරුණාචලම් ය.
ඉන්පසුව 1920, 1924 වසරවල ද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සිදුවූ අතර, ඒවායේදී ක්‍රමයෙන් නිලලත් නියෝජිත ප්‍රමාණයට වඩා නිල නොලත් නියෝජිත ප්‍රමාණය වැඩි වන ව්‍යවස්ථාදායකයන් නිර්මාණය විය.
මෙම සියවසේදී නිදහස ලැබීමට ප්‍රථම සිදුවූ කැපීපෙනෙන හැරවුම් ලක්ෂය ලෙස 1931දී හඳුන්වා දුන් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දිය හැකි ය.
එමගින් ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමිවූ අතර ඡන්දයක් හරහා සිය නියෝජිතයන් තෝරා ගැනීමේ අවස්ථාව පළමු වරට ශ්‍රී ලාංකිකයන්ට හිමි විය.
මෙය අනාගතයේ ලැබීමට නියමිතව තිබූ නිදහසේ සංඥාවක් ලෙස ද හැඳින්වීමට හැකි ය.
සෝල්බරි ආණ්ඩු ක්‍රමය සහ නිදහස

ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ ශ්‍රී ලාංකිකයන්ට වැඩි බලතල හිමිව තිබූ නමුත් පැවති විධායක කාරක සභා ක්‍රමය වෙනුවට කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ලබා ගැනීම සහ ලාංකික ඇමතිවරුන්ට වැඩි බලයක් ලබා ගැනීම අරමුණු කර ගනිමින් නැවතත් උද්ඝෝෂණ ආරම්භ වී තිබිණි.
ඒ අනුව, සෝල්බරි සාමිවරයා ප්රමුඛ කොමිසමක් හරහා සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙන ලදී. මෙමගින් පාර්ලිමේන්තුව හඳුන්වා දුන් අතර, එය මහජන මන්ත්‍රී මණ්ඩලයකින් සහ උත්තර මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විත විය.
1947 වසරේදී මහ මැතිවරණයක් පැවැත්වුණු අතර, වැඩි ම ආසන සංඛ්‍යාවක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී. එස්. සේනානායක පළමු අගමැතිවරයා බවට පත්විය.
ඒ වන විටත් ශ්‍රී ලංකාවේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට නිදහස අවශ්‍ය බවට බ්‍රිතාන්‍ය නියෝජිතයන් සමග සකච්ඡා පවත්වමින් සිටි හෙයින්, මැතිවරණයට පෙර සිට ම ශ්‍රී ලංකාවට නිදහස ලබා දෙන බවට නිවේදනය කර තිබිණි.
1947 වසරේ ඩී. එස්. සේනානායක අගමැතිවරයා බවට පත්වීමෙන් පසුව, බ්‍රිතාන්‍යය සමග ආරක්ෂක කටයුතු සඳහා ගිවිසුමක් අත්සන් කෙරිණි.
එම ගිවිසුමට අනුව, ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍යයන් කටයුතු කරන බවට එකඟ වී තිබූ අතර, අවශ්‍ය අවස්ථාවක ලංකාවේ වරාය, ගුවන්තොටුපොළ ඇතුළු ස්ථාන බ්‍රිතාන්‍ය යුද්ධ කටයුතු සඳහා යොදා ගැනීමට අවසරය හිමි විය.
එම ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා විධිවිධාන ඇතුළත් “ලංකා ස්වාධීන පනත” 1947 නොවැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගනු ලැබ තිබිණි. ඒ වන විට සිටි බ්‍රිතාන්‍ය රජුගේ නියමය පරිදි එම පනත 1948 පෙබරවාරි 04 වන දා සිට ක්‍රියාත්මක වී තිබේ.
කෙසේ වෙතත්, මෙය සැලකෙන්නේ ඩ්රොමීනියන් නිදහසක් ලෙස ය. එයට හේතුව බ්‍රිතාන්‍යයේ රාජ්‍ය පාලකයා තවදුරටත් ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස සැලකීම සහ නීති සම්පාදනයේදී පාර්ලිමේන්තුවට නොයෙකුත් සීමාවන් තිබීම ය.
පූර්ණ නිදහස සහ ජනරජයක් බවට පත්වීම
නිදහස ලැබීමෙන් පසු 1950 දශකයේ සිට ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පැවතිය ද එය සිදුවූයේ, 1972 වසරේදී ය.
1970 මහ මැතිවරණය ජය ගත් සමගි පෙරමුණු රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ එක් මැතිවරණ පොරොන්දුවක් වූයේ, නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ය.
මෙම මැතිවරණයේදී එම පක්ෂණය 2/3ක බලයක් හිමි කර ගැනීමෙන් පසු අගමැති තනතුරට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක 1972 මැයි 22 වන දින නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත් අතර, එය පළමු ජනරජ ව්‍යවස්ථාව ලෙස හැඳින්වේ.
එම ව්‍යවස්ථාව මගින් මෙතෙක් පූර්ණ නිදහසට තිබූ බාධා ඉවත්කොට ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කෙරිණි.
මූලාශ්‍රය: අධ්‍යාපන අමාත්‍යංශය
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

