Latestදේශීය

නැවත කිසිදු ජාතිවාදයකට ඉඩ තබන්නේ නැහැ – ජනපති කියයි

අපේ ශබ්ද කෝෂයේ තිබෙන අවලස්සනම වචන දෙක වන ජාතිවාදය හා අන්තවාදය නිසා අප සතුව තිබෙන ශක්තීන් අපිම ස්වයංව විනාශ කර ගන්නා බවත් අපේ රටේ යළි කිසිදු බෙදීමකට හෝ ජාතිවාදයකට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 78 වැනි නිදහස් දින උළෙල අමතමින් ඊයේ (04දා) පැවසීය.

1948 මුල්ම නිදහස් මහෝත්සවය පැවති කොළඹ ඓතිහාසික නිදහස් චතුරශ්‍රයේදී ජාතිය අමතා කතා කළ ජනාධිපතිවරයා මෙසේද කීය.

පොදු පුරවැසියා තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය පිළිබඳව විශ්වාසය තහවුරු කළ යුතුයි. සෑම නිවැරදි පුද්ගලයකුම නීතියේ විධානයේ ආධිපත්‍යය අපේක්ෂා කරන බව අපි දන්නවා. එහෙත් නීතියේ විධානයේ ආධිපත්‍යය නොසලකා හරින, බිඳ දමන ලද අය නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වෙනවාට බිය බවත් අප දන්නවා. ඒ නිසා ශ්‍රී ලංකාව ගොඩනැඟීමේදී ‘ගොඩනඟමු ශ්‍රී ලංකා’ කියන තේමාවට පණ ලැබෙන්නේ අපි අපේ නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි පරිදි තහවුරු කිරීමෙන් බව අපි විශ්වාස කරනවා.

නීතිය නොමැති තැනක, සමගිය නොමැති තැනක, යහපත් ජාත්‍යන්තර සබඳතා නොමැති තැනක, පරිසර පද්ධතිය විනාශ වූ තැනක සහ සමාජය අයහපත් වූ තැනක සංවර්ධනය යන බීජය ගොඩනඟමු යන තේමාව යටතේ යථාර්ථයක් කළ නොහැකියි. ඒ නිසා අපේ අධිෂ්ඨානය විය යුත්තේ අපේ රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන කුලුනු සහ පදනම් නිර්මාණය කිරීමයි. එය අපි කරමින් තිබෙනවා. එම කුලුනු මත ශක්තිමත් සහ නොසැලෙන ආර්ථිකයක් අපි ගොඩනැඟිය යුතුයි.

මේ රට ගොඩනැඟීම අපේ ප්‍රධානම සම්පත වන මානව සම්පත විසින් දෙවුර මත පවරා ගනු ලැබිය යුතු කාර්යයක්. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡාව සහ වැඩසටහන අපි දියත් කර තිබෙනවා. ඒ නිසා අපේ පැරණි ඓතිහාසික උරුමයන්, අත්දැකීම්, මේ සියල්ල කැටි කර මේ ශ්‍රී ලංකාව ගොඩනැඟිය හැකියි. මේ 78 වන නිදහස් දිනයේදී අපි අපේ හදවතට, අපි අපේ ඥානයට එකතු කළ යුතු වන්නේ මේ රට ගොඩනැඟීම පිළිබඳ තිර අධිෂ්ඨානයයි. ඒ නිසා ජනාධිපතිවරයා ලෙස මාද, අපේ කැබිනට් මණ්ඩලයද, විපක්ෂනායකතුමා, රාජ්‍ය සේවය, මහා සංඝරත්නය, ආගමික සංස්ථාවන් අපි සියලුදෙනාද මේ රට සෑම අතින්ම ගොඩනංවමු කියා තිර අධිෂ්ඨානයකට එමු.

මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝද, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීහුද, මැති ඇමැතිවරුන්, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු ආරාධිත පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *