තවදුරටත් බන්ධනාගාරගත කළ සමන් ඒකනායක
හිටපු ජනාධිපති බිරිය, හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් යන අයවළුන් පවා මේ රාජ්‍ය දේපළ අවභාවිත කර තිබේද, රාජ්‍ය දේපළවලින් ප්රතිලාභ ලබා තිබේද යන්න විමර්ශනය කිරීමට මා විමර්ශකයන්ට උපදෙස්
ප්‍රශ්නාවලියක් වුල්ෆහැම්ටන් විශ්වවිද්‍යාලයට ඊමේල් සහ අධිවේගී තැපෑල හරහා යොමු කළා සැකකරු දූෂිත රාජ්‍ය නිලධාරියෙක් කියා මා කියන්නේ නැහැ.
ඒත් ඔහු පළපුරුදු අපරාධකරුවකුගේ ස්වභාවයෙන් කටයුතු කළ බව මා කියනවා
පළමු සැකකරුගේ වැටුප මෙන් 162 ගුණයක් වැඩි අගයක් මේ රට බංකොලොත් වුණු අවස්ථාවක වැය කර තිබෙන්නේ. පැයට වැය කළ වියදම ලක්ෂ පහට වැඩියි
බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරයක නිරත වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් ලක්ෂ 16කට අධික මුදලක් අනුමත කිරීම තුළින්, එම වරදට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා තවදුරටත් ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා ඊයේ (11) නියෝග කළේය.
සැකකාර හිටපු ජනාධිපති ලේකම්වරයා පස්වරු 1.30ට පමණ බන්ධනාගාරය මඟින් අධිකරණයට රැගෙන ආවේය. අනතුරුව නඩු කෘත්‍ය ආරම්භ වූ පස්වරු 2.10ට විවෘත අධිකරණයට ඔහුව ඉදිරිපත් කෙරිණි.
එහිදී හිටපු ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සිදු කළ ඇප ඉල්ලීම තුළ ඇප දීමට තරම් සුවිශේෂී කරුණු නොමැති බව පවසමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඉදිරි දින ඇප සම්බන්ධ නියෝගය සිදු කරන බවත් පැමිණිල්ල සහ විත්තිය එදිනට පෙර විරෝධතා සහ ලිඛිත දේශන ගොනු කරන ලෙසත් දන්වා සිටියේය.
සැකකාර ලේකම්වරයා වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සිය විරෝධය පළ කළේය.
”ස්වාමීනි මේ සැකකරු දූෂිත රාජ්‍ය නිලධාරියෙක් කියා මා කියන්නේ නැහැ. ඒත් ඔහු පළපුරුදු අපරාධකරුවකුගේ ස්වභාවයෙන් කටයුතු කළ බව මා කියනවා. එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පියවර ගන්න මා උපදෙස් දී තිබෙනවා. එමෙන්ම හිටපු ජනාධිපති බිරිය මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අයවළුන් පවා මේ රාජ්‍ය දේපළ අවභාවිත කර තිබේද, රාජ්‍ය දේපළවලින් ප්රතිලාභ ලබා තිබේද යන්න විමර්ශනය කිරීමට මා විමර්ශකයන්ට උපදෙස් දී තිබෙනවා” යැයි කී දිලීප පීරිස් මහතා සැකකාර හිටපු ජනාධිපති ලේකම්වරයාගේ හැසිරීම පළපුරුදු අපරාධකරුවෙක්ගේ යැයි ද අධිකරණයට දන්වා සිටියේය.
“මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 04 වැනිදා ප්‍රශ්න 09 යුක්ත ප්‍රශ්නාවලියක් වුල්ෆහැම්ටන් විශ්වවිද්‍යාලයට ඊමේල් සහ අධිවේගී තැපෑල හරහා යොමු කරනු ලැබුවා. එහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කළ ප්‍රශ්නාවලියේ විශ්වවිද්‍යාලය ආශ්රිත කරුණු විමසා තිබෙනවා. 2023.09.22 සහ 23 සංචාරයට අදාළව ආරාධනා ක්‍රියාවලිය, බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය ලබා ගත්තේ ද, රජය දැනුවත් වී තිබේ ද යන්න සහ මෙරට රාජ්‍ය යන්ත්‍රණ ක්‍රියාවලිය ඇතුළු කරුණු 09ක් එහි ඇතුළත් යැයි කී දිලීප පීරිස් මහතා අද වනතෙක් එයට පිළිතුරු ලැබී නැතැයි ද කීවේය.
එසේම සුවිශේෂී කාරණයක් ඉදිරිපත් කිරීමට ඇති බව කියමින් දිලීප පීරිස් මහතා මෙසේ කියා සිටියේය.
“ස්වාමීනි පෙර නඩු දිනය දා අධිකරණ භූමියේත් අධිකරණයෙන් පිටතත් පිරිස් රැඳී සිටියා. ඔවුන් ප්‍රදර්ශන පුවරු ප්‍රදර්ශනය කරමින් එහි රැඳී සිටියා. නඩුකරයෙන් අනතුරුව නීතිඥවරුන්, දේශපාලකයන් විවිධ ප්‍රකාශ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. දැනටමත් චෝදනා ලැබ දඬුවම් ලැබ සිටින පුද්ගයෙක් එහිදී කියා සිටියා හැමදාම නත්තල් නෑ, වෙනස් වෙනවා. ඔවුන්ටත් උත්තර බඳින්න වෙයි කියා. මේ නඩුකරයේ සාක්ෂි බහුතරයක් තිබෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ. ඒ අය ඉලක්ක කර අධිකරණයෙන් පිටතත් එළියේත් කතා කරනවා. අධිකරණයේ කතා නොකරන නීතිඥවරුන් එළියට ගිහින් කතා කරනවා. ඒවාට අපි සූදානම්. ඒත් රාජ්‍ය නිලධාරීන් බිය වැද්දවීමක් මේ අය සිදු කරන්නේ. බී වාර්තාවේ කරුණු මාධ්‍යයට දීලා පෙන්වනවා. බය කරනවා. වෙනස් වුණාම විඳින්න වෙයි කියා කියනවා. මේ නඩු කෘත්‍ය විභාග වන දිනයේ බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා මෙවැනි ක්‍රියා නොවන ලෙස පියවර ගන්න. මෙහෙම ගියොත් පාතාල සාමාජිකයන් පවා මෙහෙ උත්තමාචාර කරයි” යැයි කී ඒ මහතා ඊට අදාළ පියවර ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සලකා බලන බවය. අවශ්‍ය වුවහොත් විමසා බලා ඉදිරි දින නියෝග නිකුත් කරන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
“අදහස් ප්‍රකාශ කිරීම මූලික අයිතියක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ අනු ව්‍යවස්ථාවේ 15 – 7 අනුව පමණයි සීමා කළ හැකි වන්නේ. මහජන ප්‍රකාශ ගනන් ගැනීමට අවශ්‍ය නැහැ. අවශ්‍ය වුවොත් නියෝග නිකුත් කරනවා” යැයි මහසේත්‍රාත්වරයා මෙහිදී කියා සිටියේය.
“නිලධාරීන්ට බලපෑම් කරන්න බැහැ. හැමෝම වගකීම් භාර ගත යුතුයි. සැකකාර පාර්ශ්වයේ නීතිඥ මහත්වරුන්ට නම් එය පැහැදිලි කරන්න පුළුවන්” යැයිද මහේස්ත්‍රාත්වරයා එහිදී පැවැසීය.
එහිදී දිලීප පීරිස් මහතා සැකකරුවකුගේ නම සම්බන්ධයෙන් ඇතිව ඇති තත්ත්වයක් සම්බන්ධයෙන් අධිකරණයට පැහැදිලි කර සිටියේය.
“නිෙවසේ, විශ්වවිද්‍යාලයේ සහ රජයේ කාර්යාලවල සමන් ඒකනායක නමින් හැඳින්වෙන බව කියා තිබෙනවා. සොමිසාර කියන නම මා භාවිත කළේ අපහාස කිරීමට නොවයි. අපහාසයක් කළ බවට හැඟී යන්නේ නම් කනගාටුව ප්‍රකාශ කරනවා.”
මහේස්ත්‍රාත්වරයා –
උප්පැන්නයේ ඇති නම කුමක්ද
දිලීප පීරිස් මහතා –
සොමිසාර යන නම ස්වාමීනී.
මහේස්ත්‍රාත්වරයා –
එසේ නම් එම නම තමයි අදාළ වන්නේ.
දිලීප ඵීරිස් මහතා –
ස්වාමීනී, රුපියල් ලක්ෂ 162ක් කබාසීනිය කිරීමක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයක්. පළමු සැකකරුගේ වැටුප මෙන් 162 වාරයක් වැඩි අගයක් මේ රට බංකොලොත් වුණු අවස්ථාවක වැය කර තිබෙන්නේ. පැයට වැය කළ වියදම ලක්ෂ පහට වැඩියි. 7 වැනිදා ලිපියෙන් පටන් ගත්තේ. ඔහු ඒ ලිපිය දේශපාලකයකුට දෙනවා. දැන ඒක සරෝජා සිරිසේනට දාන්න යනවා. මේ දෙවැනි සැකකරු තමයි රජයේ ප්‍රධාන ගණන් දෙන නිලධාරියා. මහකොමසාරිස් දෙන එක අනුමත කරන්නේ ඔහුයි. මේ අය VIP පැය දෙකහමාරක් රැඳී සිටින්න රුපියල් ලක්ෂ 27ක් වැය කරලා. රට බංකොලොත් කියා ප්‍රකාශ කළ අවස්ථාවකයි මේ මුදල් පුද්ගලික අවශ්‍යතාවකට වැය කර තිබෙන්නේ. මේ සැකකරු අමෙරිකාවට ගියා. ලන්ඩන් එනවා. බැහැලා ශ්‍රී ලංකාවට ආවේ නැහැ. පසුවයි දැන ගත්තේ උපාධිය ගැන කියා ප්‍රකාශ දෙනවා. අවංක රාජ්‍ය සේවකයෙක් නම් අහන්න එපැයි ස්වාමියා කළ වරද ගැන. ට්‍රාන්සිට් එහෙකට රුපියල් ලක්ෂ 162ක් වැය කරන්න ඉඩ දෙනවාද? බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ වසර 3ක පළ පුරුද්දක් දෙවැනි සැකකරුට තිබෙනවා. ඔහු වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලය සහ ලන්ඩන් අතර අවබෝධයක් නැද්ද. ලන්ඩන් සිට කිලෝමීටර් 200ක් දුර බවට දන්නේ නැද්ද? ශ්‍රී ලංකාවේ උපාධිය ප්‍රචාරය කළේ නැහැ. අපේ රටේ මාධ්‍යවල ඒ පින්තූර නැහැ. ලන්ඩන්වල ගිය පින්තූර පමණයි තියෙන්නේ. ඇයි සර් මට බොරු කිව්වේ කියලා හරි අහන්න තිබුණා. මේ සැකකරු තමයි හොර වැඩේ කළේ. මහජන මුදල් කබාසීනිය කළේ මොහුයි. ශානිකා සිල්වාගේ ප්‍රකාශයට අනුව ජනාධිපතිවරයාගේ ගෙවීම්වලට අදාළ රැස්වීම් වාර්තා කරන බව කියා තිබෙනවා. එම සංචාරය කුමක්ද යන්න ඇය දන්නේ නැහැ. ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් අනුව කටයුතු කළ බව ඇය කියා තිබෙනවා. pvt කියන එක රවුම් කර වහන්නේ ඔහුයි. රාජ්‍ය ලාංඡනය යොදන්නේත් ඔහුයි. රාජ්‍ය සේවයේ අත්දැකීම් තිබෙනවා නම් මේ වගේ මුදල් කබාසීනිය කිරීමකට ඉඩ දෙනවාද? රාජ්‍ය මුදල්වලින් ප්රතිලාභ ගත් සියලු දෙනා ගැන විමර්ශන කරනවා. ඒ නිසයි මම කියන්නේ ඔහු පළපුරුදු අපරාධකාරයෙක් ලෙස කටයුතු කර තිබෙන බවට. සරෝජා සිරිසේනගේ ප්‍රකාශය සටහන් කරද්දී බලපෑම් සහිත දුරකතන ඇමතුම් පවා ආවා. මම ඒ ගැන දැන්ම කියන්නේ නැහැ. විදේශ ගමන් තහනමක් තිබුණා කියා නිවාස අඩස්සියේ තබා නැහැ කියා ඔහු ප්රකාශදී තිබෙනවා. ඔහු සැඟවී සිටි එම කාලය තුළ ජංගම දුරකතන භාවිත කළේ නැහැ. ඒ බව ඇහුවාම ඔහු දුරකතනය භාවිත කළේ නැහැ කියා කිව්වා. නීතිඥවරයා කිව්වා මා සමඟ දුරකතනයෙන් කතා කළා කියා පෙර දිනයේ. කවුද ඇත්ත කියන්නේ සැකකරුද නීතිඥ මහතාද?
මහේස්ත්‍රාත්වරයා – නීතිඥවරයා සමඟ කතා කිරීමට අයිතියක් තිබෙනවා.
දිලීප පීරිස් මහතා – ස්වාමීනී,
මම කියන්නේ දුරකතනය වසා තිබුණා කියා කියන නිසා කවුද බොරු කියන්නේ. සතුන්ට කෑම දීලා ගිහිං තිබෙනවා. සත්තුන්ට කෑම දෙන එක හොඳ වැඩක්. ඒත් අත්අඩංගුවට ගන්න හදන අවස්ථාවේ ඔහු කොහේද හිටියේ. ඒ බව අපි දැන ගත යුතුයි. එයද කීර්තිමත් නිලධාරියකුගේ ක්‍රියාකලාපය. බන්ධනාගාර බස් එකේ යන ගමන් මාධ්‍යයට කියනවා ජයවේවා කියා. කාටද ජයවේවා කියන්නේ?. පැමිණිල්ලටද ඔබතුමාටද කාටද? ඔහු ඉන්නේ සතුටින්. පළමු විතිතකරු වන රනිල් වික්‍රමසිංහ මහතා සහ දේශපාලකයෙක් ඔහු හමුවෙන්න රිමාන්ඩ් බන්ධනාගාරයට ගිහිං තිබෙනවා. හම්බ වුණු බවට ලේඛන සාක්ෂි අපි සතුව තිබෙනවා. අපි ගියත් එහි ලේඛන තිබෙනවා. ඔහු කිව්වේ ට්‍රාන්සිට් බවට දැක්කේ උසාවියේදී බවටයි. ට්‍රාන්සිට් එහෙකට රුපියල් ලක්ෂ 162ක් වියදම් කිරීම සාමන්‍ය පුරවැසියෙක් ලෙස ඔහුට දැනෙන්නේ කොෙහාමද? ඒක වරදක් බව දැනනෙවා නම් පසුව අය කරගන්න තිබුණා. මේ හේතු නිසා ඇප දීමට විරුද්ධයි.
ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා –
මගේ සේවාදායකයා අමෙරිකාවේ සිට එන ගමන ලන්ඩන් ගියේ නැහැ දෝහා හරහා මෙරටට පැමිණියේ.
දිලීප පීරිස් මහතා – මට වැරදුණා.
සැකකාර සමන් ඒකනායක මහතා වෙනුවෙන් කරුණු දක්වමින් එම ක්‍රියාවලිය ආයතන හයර් කිරීම මුදල් අය-වැය සකස් කිරීම සහ සියලු කටයුතු සිදු කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය බව කී ජනාධිපති නීතිඥ කාලංග ඉන්දතිස්ස මහතා, තම සේවාදායකයා ලන්ඩන් නුවරට ගියේ නැති බවත් කියා සිටියේය. අපරාධ මනසක් නොතිබූ බව පෙන්වා දුන් ඒ මහතා ඔහු ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින්,
විමර්ශන ගැන අවධානය යොමු කරනවා. බන්ධනාගාර බස් රථයේ සිට මාධ්‍යයට ප්‍රකාශ කිරීම සම්පූර්ණ වරදක්. එසේ නොකළ යුතුයි. එසේ සිදු කර තිබේනම් පියවර ගන්න. නීතියේ යම් වෙනසක් තිබෙනවා. සාමාන්‍ය නීතියට වඩා මෙය වෙනස්. මේ නීතිය යටතේ ඇප නොදීමට හේතු නෙමෙයි ඇප දීමට හේතුයි ඉදිරිපත් කළ යුතු වන්නේ. ඇප දීමට තරම් සුවිශේෂී හේතු ඉදිරිපත් වන්නේ නැහැ. ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කරනවා. ඇප දීම ඉදිරි දින සලකා බලනවා. නඩුව යළි ලබන 18 කැඳවේ.
එසේම සැකකාර සමන් ඒකනායක මහතාගේ අත් අකුරු සාම්පල ලබා ගෙන ඇති බවත්, ප්‍රශ්නගත ලිපියක රවුම් කිරීම සම්බන්ධයෙන් විමසා බැලීමට එය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, එදිනට විමර්ශන ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

