තේ පඳුරු යටින් දිවෙන කටුක ජීවිත කතාව
තේ පඳුරුවලින් වැසුණු, නිල් පැහැයෙන් දිලෙන මධ්‍යම කඳුකරයේ සුන්දරත්වයට යටින් සැඟ වී ඇත්තේ ඉතා කටුක ඉතිහාසයකි.
2023 ඔක්තෝබර් මාසයේ ජාතික ජන බලවේගය විසින් නිකුත් කරන ලද ‘හැටන් ප්රකාශනය’ මඟින් හඳුනාගත් මලෛයගම් ජනතාවගේ එම ඉතිහාසය මීට වසර 200කට පෙර 1823 දී ආරම්භ වූ වහල්බවකින් පටන් ගන්නා කතාවකි.
ශ්‍රී ලංකාව ස්වර්ග පුරයක් ලෙස විස්තර කරමින්, “ඔබේ මව්රට වන ඉන්දියාවේ සොයා ගැනීමට දුර්ලභ උම්බලකඩ සහ පොල් ලංකාවේ තේ පඳුරු යටින් සොයාගත හැකිය” යනුවෙන් පවසමින් රවටා මෙරටට ගෙන එන ලද දකුණු ඉන්දියානු කම්කරුවන්, දුක් කම්කටොලු සහ තාඩන පීඩන මැද ‘ලැයිම් කාමර’ නම් අතිශයින් අඩු පහසුකම් සහිත නිවාසවල වෙසෙමින් ශ්‍රී ලංකාව ලොව පතළ කිරීමට මෙන්ම රටට අවැසි විදේශ විනිමය උපයා ගන්නට සිදු කළ මෙහෙය අමතක කළ නොහැකිය.
ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකා නාමය ලොව පතළ කිරීමට බොහෝ කලකට පෙර, ‘සිලොන් ටී’ යන සන්නාමය මඟින් මෙම කුඩා දිවයින ලොවට දන්වන්නට මෙන්ම රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙන්නට ඔවුන් දැරූ උත්සාහය අතිමහත්ය.
ඉතිහාසගත ජයග්‍රහණයක්
ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 78ක් ගත වී ඇති මේ කාලය තුළ මලෛයගම් දෙමළ ජනතාව යම් දියුණුවක් ලබා ඇතත්, තවමත් නොවිසඳුණු ගැටලු රාශියක් ඉතිරි වී පැවතිණි.
එහෙත් මේ වසරේදී සිදු වූ ඉතිහාසගත සිදුවීම වන්නේ ලැයිම් කාමරවල ඉපදී දලු නෙළන දෙමාපියන්ට උපන් කාන්තාවන් දෙදෙනකු මලෛයගම් ප්‍රජාව නියෝජනය කරමින් දසවන පාර්ලිමේන්තුවට තේරී පත්වීමයි. ක්‍රිෂ්ණන් කලෛච්චෙල්වි සහ අම්බිගා සැමුවෙල් යන ඔවුන් දෙදෙනා 78 වැනි නිදහස් දිනය සමරන මේ කාලයේදී මෙලෙයගම් ජනතාවගේ සැබෑ නිදහස සනිටුහන් කරති.
“කඳුකරයෙන් පාර්ලිමේන්තුවට කාන්තාවන් තේරී පත්ව ඇතත්, ඔවුන් එක්කෝ දෙමාපියන් දේශපාලනය කළ නිසා හෝ ධනවත් පවුල්වල අය වූ නිසා එම තනතුරු ලබා ගත් අයයි.
ඒ නිසා මෙලෙයගම් ජනතාව ඉංග්‍රීසි ජාතිකයන් යටතේ කළ වහල් සේවය දිගටම කරන්නට සිදු වූවා” කලෛච්චෙල්වි මන්ත්‍රීවරිය සාකච්ඡාවට එක් වෙමින් පැවසුවාය.” දේශපාලනඥයන්ට අවශ්‍ය වූයේ මෙලෙයගම් ජනතාවගේ ඡන්ද බලය පෙන්වා සෑම රජයකම ඇමැතිකමක් ලබා ගැනීමයි. මෙම ජනතාව වහල්භාවයෙන් නිදහස් කිරීමේ අවශ්‍යතාවක් කිසිවෙකුට තිබුණේ නැහැ.”
මලෛයගම යන නම තුළ තිබෙන අභිමානය
ජාතික ජන බලවේගය 2023 ඔක්තෝබර් මාසයේ ‘හැටන් ප්රකාශනය’ මඟින් ප්‍රථම වතාවට මෙම ප්‍රදේශය ‘මලෛයගම’ ලෙසත්, එහි ජනයා ‘ මලෛයගම් ජනතාව’ ලෙසත් පිළිගැනීමට ලක් කළේය. මෙතෙක් කල් වතු කම්කරුවන් ලෙස හඳුන්වමින් ඔවුන් මෙරට වෙනත් ජනකොටස්වලින් වෙන්කර දැක්වූ අතර මෙම නව හඳුනා ගැනීම සුවිශේෂී වැදගත්කමක් ගනියි.
නිවාස ප්‍රශ්නයට විසඳුමක්
මලෛයගම ජනතාවට තවමත් පවතින විශාල ගැටලුවක් වන්නේ නිවාස ගැටලුවයි. ලැයිම් නිවාසවල ඉඩකඩ සීමිත වන අතර කාමර දෙක තුනක පරම්පරා දෙක තුනක් වාසය කරයි. කිසිදු පෞද්ගලිකත්වයක් නොමැති මෙම තත්ත්වය හේතුවෙන් දරුවන් අපයෝජනයට ලක්වීමේ අවස්ථා ද බහුලය.
“සියලු දෙනාට පර්චස් දහයක් බැගින් දීම ප්‍රායෝගිකව කළ නොහැකියි.
අවදානමෙන් තොර ස්ථානවල නිවාස තැනීමටත්, ඇතැම් විට තට්ටු නිවාස ගොඩනැඟීමටත් අපි සැලසුම් කර තිබෙනවා.” අම්බිගා සැමුවෙල් මන්ත්‍රීවරිය ද සාකච්ඡාවට එක් වූවාය. “අපි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් ලබාගනිමින් මෙම ප්‍රශ්නයට රජය සමඟ කටයුතු කරමින් සිටිනවා.”
වැටුප් වැඩිවීමේ විශේෂත්වය
මාසික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,750 දක්වා වැඩි කිරීම තවත් සුවිශේෂී ජයග්‍රහණයකි. “මෙතෙක් කල් වැටුප් වැඩි කරගත්තේ වතු කම්කරුවන් හා සමාගම් කතා කර, බොහෝ විට සටන් කර ඉතා සොච්චම් මුදලක් ලබා ගනිමින්. එහෙත් මේ වතාවේ කිසිදු සටනක් නොකර ජනාධිපතිතුමාගේ සහ මන්ත්‍රීවරුන් 159 දෙනාගේම මැදිහත්වීමෙන් මෙය ලබා ගැනීමට හැකි වුණා” කලෛච්චෙල්වි මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.
යටිතල පහසුකම් සංවර්ධනය
දීර්ඝ කාලයක් තිස්සේ වතු ආශ්රිත මාර්ග කිසිදු සංවර්ධනයකින් තොරව පැවතුණි. “වතු ආශ්රිත මාර්ග සංවර්ධනය සඳහා වගකිවයුතු කිසිවෙකු සිටියේ නැහැ. වතු පාලකයන් පැවසූයේ එම මාර්ග තමන්ට අයිති නොවන බවයි. එහෙත් දැන් එම මාර්ග ප්‍රාදේශීය සභාවට අයත් වන අතර මාර්ග සංවර්ධනය කඩිනමින් සිදු වෙමින් තිබෙනවා” අම්බිගා සැමුවෙල් මන්ත්‍රීවරිය පැහැදිලි කළාය.

අධ්‍යාපනය ඉදිරි පරම්පරාවට ආලෝකයක්
අධ්‍යාපනය ගැන අදහස් දක්වමින් දෙදෙනාම එක හඬින් කතා කළහ. “අපේ කලින් නායකයෝ අපේ දරුවන්ට හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්නට උනන්දු වූයේ නැහැ.
ඔවුන් උගන්වන්නට පත් කළේ උසස් පෙළ සමත් ගුරුවරුන්. අපේ දරුවන්ට උපාධිධාරී ගුරුවරුන් ලබා දීමට කටයුතු කළේ නැහැ” යැයි කලෛච්චෙල්වි මන්ත්‍රීවරිය පැවසුවාය.
“අපි විශ්වාස කරන්නේ මේ දරුවන්ට ඉදිරියට යාමට තිබෙන හොඳම මාර්ගය අධ්‍යාපනය බවයි. ඔවුන් හොඳින් ඉගෙන ගත්තොත් තමයි වෙනත් ප්‍රදේශවල ජනතාව සමඟ සමානව ජීවත් වීමට හැකි වන්නේ. අපි හිතනවා අපෙන් පසුව මලෛයගම නියෝජනය කරමින් තරුණ තරුණියන් වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි කියලා.”
ලැයිම් කාමරවල ඉපදී දලු නෙළන දෙමාපියන්ගේ දරුවන් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වීම තමන් වැනි තවත් බොහෝ අයට ඒ සඳහා දොරටු විවෘත කිරීමක් බව ඔවුහු විශ්වාස කරති.
78 වන නිදහස් දිනය සමරන මේ දිනවල සැබෑ අර්ථයෙන් නිදහස ලබා ඇත්තේ මලෛයගම් ජනතාව බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ.
එමෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින්ද මලෛයගම් ජනතාවගේ දරුවන්ට අනාගතය ජය ගන්නට හැකි වනු නොඅනුමානය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

