Latestදේශීය

ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛන්ඩ සහය

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබා දෙන බවත්, වසර ගණනාවක් තිස්සේ ගොඩනඟා ගත් ශක්තිමත් හවුල්කාරිත්වය මත පදනම්ව ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් වූ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නව දේශීය අධ්‍යක්ෂ Shannon Cowlin සඳහන් කරයි.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක හමු වූ අවස්ථාවේදීය.

නව අධ්‍යක්ෂ නිල වශයෙන් ජනාධිපතිට හඳුන්වා දීම ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ විසින් සිදු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වැඩසටහන් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති ආකාරය සහ ආයතනික සම්බන්ධීකරණ ක්‍රියාවලියේ පවතින ඵලදායිතාව පිළිබඳව නියෝජිත පිරිස මෙහිදී සතුට පළ කළහ.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී ප්‍රමුඛ අවධානයක් යොමු වූ අතර යථා තත්වයට පත්කිරීමේ වැඩපිළිවෙළ සහ ප්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කිරීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

වත්මන් රජය යටතේ ළඟා කර ගත් ආර්ථික ප්‍රගතිය විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල සිටින ජනතාව වෙත දැනෙනසුලු ලෙස ගලායාමට සැලැස්වීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර  දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

මධ්‍යම කඳුකරය සහ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින දිගුකාලීන පාරිසරික බලපෑම්ද පැහැදිලි කරමින්, එම පරිසර පද්ධති යථා තත්වයට පත් කිරීම, ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම සහ බලපෑමට ලක් වූ ප්‍රජාව සඳහා ස්ථිර ජීවනෝපාය මාර්ග සකස් කර දීම සඳහා වන කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ තත්වවලට මුහුණ දීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති, එම අභියෝගවලට මුහුණ දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙන සහාය කෘතවේදීව පිළිගන්නා බවද පැවසීය.

මෙහිදී ආසියානු සංවර්ධන බැංකුව විසින් 2026 වසරේ සිට මෙරට සිදු කරනු ලැබීමට සැලසුම් කර ඇති ආයෝජන, ලබා දීමට අපේක්ෂිත අයවැය සහාය සහ 2026 මැදභාගයේදී සිදු කිරීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුළු ඉදිරි සැලසුම් සමාලෝචනය කෙරුණු අතර, තිරසාර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ අන්‍යෝන්‍ය කැපවීම යළි තහවුරු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ (SARD) අධ්‍යක්ෂ ජනරාල් Sona Shrestha, ජ්‍යෙෂ්ඨ දේශීය ආර්ථික විශේෂඥ Lilia Aleksanyan සහ ප්‍රධාන ආර්ථික කටයුතු නිලධාරී ලක්ෂිනි ප්‍රනාන්දු යන මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි වූ අතර, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී අපොන්සු යන අය සහභාගි වූහ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *