ගාසා සාම හමුදාවට ඉන්දුනීසියාවෙන් සෙබලු අටදාහක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම යෝජනාවලියට අනුව ආරම්භ වූ ගාසා තීරයේ සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර ඒකාබද්ධ මෙහෙයුම් සිදු කිරිමේ ක්‍රියාවලියට සිය හමුදා භටයන් අටදහසක් යෙදවීමට ඉන්දුනීසියානු රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාව මැදිහත්වූ ඊශ්‍රායල – හමාස් සංවිධාන සටන් විරාම ගිවිසුමේ දෙවැනි අදියර යටතේ සිදු කිරිමට නියමිත ඒකාබද්ධ මෙහෙයුම් සඳහා හමුදා භටයන් ලබාදීමට තීරණය කළ පළමු රට බවට ද ඉන්දුනීසියාව පත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම මණ්ඩලයට ද එක්වී සිටින ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබොවෝ සුබියැන්ටෝ පැවසුවේ ගාසා තීරය සුරක්ෂිත කිරිම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවය. ගාසා තීරයට යොමු කිරිමට නියමිත ඉන්දුනීසියානු හමුදා භටයන් මේ වනවිට විශේෂ පුහුණුවක් ලබමින් සිටින බවත්, ඔවුන් ගාසා තීරයේ වෛද්‍ය හා ඉංජිනේරු කාර්යභාරයන් සඳහා සහාය වනු ඇති බවත් ඉන්දුනීසියාවේ හමුදා ප්‍රධානි ජෙනරාල් මරුලි සිමන්ජුන්ටාක් ප්‍රකාශ කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාසයේදී ස්ථාපිත කළ ගාසා සාම මණ්ඩලයේ පළමු රැස්වීම මේ මස 19 වැනිදා වොෂින්ටන් නගරයේදී පැවැත්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

