නීතිඥවරු අද නඩුවලට නැහැ

අකුරේගොඩදී නීතිඥ සහ බිරිඳ ඝාතනය
ඝාතකයන් පලාගිය රිය බද්දේගමදී ගිනි තබා වනසලා
නීතිඥවරයකු හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ කොළඹට රැස්වූ නීතිඥවරුන් එම ඝාතනයට විරෝධය පළකරමින් අද (16දා) දිනයේ අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පැවැසීය. කොළඹ නීතිඥ සංගම් මූලස්ථානයට ඊයේ සවස රැස්වූ නීතිඥවරු මෙම තීරණය ගනු ලැබූහ.
රටේ යම් අපරාධයක් සිදුවූ විට මාධ්‍ය හෝ සමාජ මාධ්‍යවල ඒ ගැන තහවුරු නොකළ සහ වැරදි උපකල්පන දෙන දේවල් අදහස් ප්‍රකාශ කිරීමට පෙර එම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට හා අධිකරණයට ඒවා භාරදෙන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පැවැසීය.

තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා (14දා) මෙම අදහස් පළ කළේය.
මෙම අපරාධය සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියේය. තරුණ වයසේ සිටි මෙම දෙදෙනා ඝාතනය කිරීම කවදාකවත් බලාපොරොත්තු නොවෙච්ච දෙයක් බව ද හෙතෙම කීය. සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට රජයටත් පොලිසියටත් ලොකු වගකීමක් තියෙන බව ද හෙතෙම පැවැසීය.

අධි ආරක්ෂිත කලාපයට ආසන්නව විශාල පිරිසක් ගැවසෙන ප්‍රදේශයක සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිටුපස තිබෙන කථාව පසුව බලමු යැයි ද කී සභාපතිවරයා මියගිය නීතිඥ මහතා සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් තම සංගමය පෙනී සිටින බව ද පැවැසීය.
සිද්ධිය වූ සැණෙන් සදාචාර විරෝධී ආකාරයට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තහවුරු නොකළ තොරතුරු ඉදිරිපත් කරන බවත් මෙවැනි දේවල් දේශීයව නොව විදේශීයව ද බලාගෙන සිටින බවත් හෙතෙම කීය. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව කී හෙතෙම මහජනතාවට ආරක්ෂාව ලබාදීමේ වගකීමක් රජයට තිබෙන බවත් පාරේ යන විට වෙඩි තබයි කියා බියක් මහජනතාව තුළ නොතිබිය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

රටේ ලෝකෙ මෙවැනි අපරාධ සිදුවන බවත් අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ව්‍යවස්ථාවෙන් ද ඉඩ ප්‍රස්ථාව තිබෙන බවත් පැවැසූ සභාපතිවරයා අපරාධකරුවන් වෙනුවෙන් නීතිඥයන්ට පෙනී සිටීමට හැකි බවත් තවදුරටත් පැවැසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා නීතිඥ ප්‍රජාව විශාල පිරිසක් ඊයේ (15දා) සවස නීතිඥ සංගම් මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක නිරත වූහ.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

