Latestදේශීය

නඩු දහස් ගණනක් කල්තබන ලද ඉතිහාසගත දිනය

නීතිඥවරුන් නිහඬ විරෝධතා සහ පාගමන් යද්දී
උසාවි අසල කළු කොඩි එසවෙයිඃ
මේ ද්විත්ව ඝාතන මෙවැනි සාහසික අපරාධවල අවසානය විය යුතුයි
නීතිඥ සංගමයේ සභාපති

පසුගිය 13 වැනිදා පස්වරුවේ තලංගම අකුරේගොඩදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා හා ඔහුගේ බිරිඳ මෝටර් රථය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් නීතිඥවරුන් නඩු කටයුතුවලට පෙනී නොසිටීම නිසා ඊයේ (16දා) නඩු දහස් ගණනක් කල් තැබීමට සිදුවිය. අධිකරණ හමුවේ පෙනී නොසිට නීතිඥවරුන් නිහඬ විරෝධතා හා පාගමන්වල නිරතවීම නිසා රටපුරා පිහිටි සියලුම අධිකරණවල නඩු කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ විය. එම ම්ලේච්ඡ ඝාතනවලට විරෝධය පළකර රට පුරා බොහෝ අධිකරණ අසල කළු කොඩි ඔසවා තිබිණි. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය, මහාධිකරණය, අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇතුළුවන හා පිටවන මාර්ගවල ඔසවා තිබූ කළුකොඩි 15 වැනිදා අලුයම ඉවත් කර තිබිණි.

සිය සංගමයේ සාමාජිකයන් නීතිඥවරයාගේ ඝාතනයට විරෝධය පෑම සඳහා 16දා නඩු කටයුතු සඳහා පෙනී නොසිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සියලු අධිකරණවල විනිසුරුවරුන් දැනුවත් කර තිබිණි. මේ නිසා නීතිඥවරුන් නොමැතිව නඩු කැඳවා වෙනත් දින නියම කිරීමට මහෙස්ත්‍රාත්වරුන් දිසා විනිසුරුවරුන් හා මහාධිකරණ විනිසුරුවරුන් පියවර ගෙන තිබිණි.

ඊයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ හා මහාධිකරණ හමුවේ පුද්ගලික නීතිඥවරුන් කිසිවකු හෝ පෙනී නොසිටි අතර නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නියෝජනය කළ නීතිඥවරුන් පමණක් අධිකරණ හමුවේ පෙනී සිටියහ. උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය හමුවේ නීතිඥවරුන් පෙනි සිටීම අවම වී තිබූ අතර ඇතැම් නීතිඥවරුන් අධිකරණ ශාලා වෙත පැමිණ නීතිඥ සංගමයේ තීරණය අනුව තමන් නඩුවලට පෙනී නොසිටින බව දන්වා නික්ම ගොස් තිබිණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය 15 වැනිදා කළ දැනුම්දීම අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි අධිකරණ හමුවේ කැඳවන නඩු කටයුතුවලට මෙන්ම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ හා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ පෙනී සිටින ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරුන් ඊයේ උදෑසන 10.30ට පමණ උපරිමාධිකරණ සංකීර්ණයට රැස්වී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ලේකම් ප්‍රමුඛ නීතිඥවරුන් පෙරටුව පාගමනින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මූලස්ථානය වෙත ගමන් කළහ. එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා, අද දිනයේ උතුර, දකුණ, නැඟෙනහිර ඇතුළු රටේ පිහිටි සියලුම අධිකරණවල නීතිඥවරුන් දියත් කළ සංකේත විරෝධතාව සාර්ථක කරගැනීමට නීතිඥ ප්‍රජාව මෙන්ම නීති ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්ව දැක්වූ සහයෝගය තම සංගමය අගේකොට සලකන බව පැවසීය. රටේ ආරක්ෂාව මෙන්ම නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු බවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඒ සඳහා සහයෝගය ලබාදීමට තම සංගමය සැදී පැහැදී සිටින බවත් පැවැසූ රජිව් අරමසූරිය මහතා සහෝදර නීතිඥවරයාගේ හා ඔහුගේ බිරිඳගේ ඝාතන මෙරටේ සිදුවන එවැනි සාහසික අපරාධවල අවසානය විය යුතු බව පැවැසීය.

එකී අපරාධකරුවන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කළ යුත්තේ යැයි ද පැවැසූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා අද පවත්වන සංකේත විරෝධතාව තාවකාලිකව අත්හිටුවීමක් කළා මිස එය සම්පූර්ණයෙන් අතහැර දමා නැතැයි ද පැවසීය.

මේ අතර එලෙස ඝාතනයට ලක්වූ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතාගේ සහ නිසංසලා මල්ලවආරච්චි මහත්මියගේ දේහ පිළිබඳ අවසන් කටයුතු ඊයේ (16දා) පස්වරුවේ දිවයිනේ නන්දෙසින් පැමිණි දහස් ගණනක නීතිඥවරුන් ඇතුළු විශාල පිරිසකගේ සෝ සුසුම් මැද පිටිගල ගොඩාමුණ දී සිදුකෙරිණි. ආරක්ෂක අංශ දැඩි රැකවල් ප්‍රදේශයට යොදා තිබිණි.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *