Latestදේශීයනවතම ලිපිමතවාද

වික්‍රම ෆොන්සේකා නම් මනුෂ්‍ය පුත්‍රයා

හිස් අතින් පැමිණ බොහෝ දේ ඉතිරි කර හිස් අතින්ම ඔහු නික්ම ගිය බව මේ හැඟීම්බර මොහොත අපට හිතන්න බලකරයි.  

නික්ම යන මොහොත සදහා වූ තම සූදානම බොහෝ කලක සිට අභ්‍යයාස කළ  වික්‍රම පියතුමා නොඑසේනම් අප කාගේත් ආදරණීය සහෝදරයා වූ වික්‍රම අයියා තම දිවිසැරිය නිමකරන්නේ එක් යුගයක විප්ලවීය පැවැත්මක අරුත් ශේෂ කරමින් මෙන්ම නව යුගයක සටනකට හේතු සපයමින්.

පූජකවරය පිළිබඳ වූ පොදු ජනප්‍රිය සම්මුතිය සහ යුක්තිය උදෙසා පීඩාවට පත්වීම නම් දේව කැඳවීම පිළිබඳ තම සිතෙහි දෝලනය වූ පාළුකරයේ දෝංකාරය අතර වූ දෙකෙන් එකක් පමණක් තෝරාගැනීමට නිෂ්චිත මොහොත පැමිණි විට ඒ ගැඹුරු අභ්‍යන්තර අරගලය හමුවේ ඔහු එදා තිරසර මෙන්ම සෘජු තීරණයකට පැමිණ තිබුණා. සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ යැයි පවසමින් නායක පූජකයින්ගේ සම්මුතියට දැඩි ප්‍රහාරයන් එල්ල කරමින් තැලෙන පොඩිවෙන පෑගෙන පීඩිත මිනිසුන්ගේ පහත මාලයට ස්ව කැමැත්තෙන්ම වික්‍රමාන්විතව ඔහු පියමැන්නා.

ඒ තීරණය ගත් දිනය කවදාදැයි අප කවුරුත් හරිහැටි නොදන්නා නමුත් අප කවුරුත් දන්නා දෙයක් වෙයි. තමන් ගත් තීරණයේ මරණය තෙක් අඛණ්ඩව අල්වා සිටීම මේ මනුෂ්‍ය පුත්‍රයා දිවි හිමියෙන් රකින ලද උරුමය බව අප කවුරුත් පිළිගන්නා සත්‍යයකි.

වික්‍රම පියතුමාගේ ජීවිතයේ එකම අරමුණ වූයේ කාටත් සතුටින් ජීවත්විය හැකි යුක්තිසහගත සාධාරණ සමාජයක් නොඑසේනම් මනුෂ්‍ය සම්මුතියක් ගොඩනැගීමයි. එම අරමුණ ජයගැනීම තුළින් තමන් අපේක්ෂා කරන ස්වර්ගරාජ්‍යය මිහිමත බිහිකළ හැකි බව ඔහු තරයේ විශ්වාස කළා. එම ස්වර්ගරාජ්‍යය සදහා වූ ගමනට ඇති ප්‍රධානතම බාධාව තමන් ද නියෝජනය කරනා ආගමික සංස්ථාපිතයම බව තේරුම් ගත් තරුණ වික්‍රම පියතුමා එම තේරුම්ගැනීමට අනුව විමුක්ති දේවධර්මය මත පදනම්ව විවිධ සමාජ ව්‍යාපාරයන් හී ඉදිරියෙන්ම සටන් කළා. නමුත් එම සටන් බිම් තුළ වූ විවිධ සීමාකම් වලට යටත්ව බොහෝ ප්‍රයත්නයන් අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමට නොහැකිව ව්‍යර්ථව ගියා.

මේ අතර ආගමික සංස්ථාපිතයටත් එහා මෙන්ම එම සංස්ථාපිතයන්ගේ ද ආශිර්වාදයෙන් ක්‍රියාත්මක “ක්‍රමය” නැතිනම් පද්ධතිමය ගොඩනැගීම හරහා ධනවාදය තුළ නග්නව ඇති පරිභෝජනවාදී දෘෂ්ටිවාදයන් විසින් මිහිමත විශාල පරිමාණයේ අපායන් සහ එහි ප්‍රතිපක්ෂයන් ලෙස කුඩා පිරිසකට ස්වර්ගයන් බිහිවන බව දේශපාලනික අර්ථයෙන් තේරුම් ගත් පරිණත වික්‍රම පියතුමා තම දිවියේ අවසන් දශකයකට වැඩි කාලය කොමියුනිස්ට් සමාජයක් තුළින් සැමට ස්වර්ගය අත්කර දිය හැකි බව විශ්වාස කරන්නට සහ ඒ සදහා වැයවන සමාජ ක්‍රියාධරයින් රැකගන්නට මෙන්ම හැකි පමණින් පෝෂණය කරන්නට කටයුුතු කළා.

අද අප ඉදිරියේ දෙනෙත් පියා නිසොල්මන්ව සිටින වික්‍රම පියතුමා තම ජවසම්පන්න ජීවිත කාලය තුළ මානව දයාවෙන් පිරි තාත්තෙක් නැතිනම් සහෝදරයෙක් වෙමින් බොහෝ මිනිසුන් හට ප්‍රායෝගික විසඳුම බවට පත්වන්නටත්,  විමුක්තියේ ප්‍රඥාව වන්නටත් කටයුතු කළ අභියෝගාත්මක මිනිසෙක් වුණා. එමෙන්ම තමන් නිවැරදි යැයි විශ්වාස කරනා අදහස් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට තරම් තද හිතක් ඔහුට තිබුණා. තද මිනිසෙක් ලෙස පෙනුනද දේශපාලන සංවාද කෙරෙහි දැඩි ඇල්මක් දක්වන ලද වික්‍රම පියතුමා සංවාදවලින් නික්ම ගියේ එක්කෝ තමන්ගේ අදහස වෙනස් කරගනිමින්. නැතිනම් කෙසේ හෝ අනෙකාව වෙනස් කරමින්.

අවුරුදු 65ක තරම් කෙටි ජීවිතයකට පමණක් හිමිකම් කිවුව ද මේ මනුෂ්‍ය පුත්‍රයා විසින් තවමත් අල්වා සිටින පීඩිතයාගේ ධජය අප අභියස අඩකුඹුව මුත් අඛන්ඩව ලෙලදෙයි. ධීවර සටන් බිම් හී, වතු කම්කරු අරගලයන් හී, පරිසර විනාශයට එරෙහි පාගමන් හී, දරුවන්ගේ අයිතිවාසිකම් සදහා වන උද්ඝෝෂණයන් හී මෙන්ම ජාතිවාදීන්ගේ කුමන්ත්‍රණ පරාජය කරනට වූ ඉදිරිපෙල සටන් තුළ හෙටත් ජවසම්පන්න වික්‍රම ෆොන්සේකා අප අතර සැරිසරනු ඇත.

විටෙක් කට කොනකින් සිනා සී ඔහු අපට තාත්තෙක් මෙන් සරදම් කරනු ඇත. තවත් විටෙක අපට වරදින්නට ආසන්න තැන් මැදට පැන අපව නිවැරදි කරනු ඇත. අප නිවැරදි මාවතක නිවැරදි භාවිතයක යුක්තිය උදෙසා වූ පීඩිතයාගේ සටන නිසි මග දියත් කරමින් සිටින විට දීප්තිමත් ඇස් දෙකෙන් අපදෙස බලා අපට ඉදිරියට යාමට ශක්තිය සපයනු ඇත.

ඉතින් වික්‍රම සහෝදරයා, ඔබ මියගොස් නැත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *