Latestනවතම ලිපිවිදේශීය

කියුබාවටත් ආධාර රැගෙන යන ග්‍රේටා තන්බර්ග්

“ලොව ප්‍රකට පරිසර වේදිනියෙකු වන ග්‍රේටා තුන්බර්ග්ගේ සහය ඇතිව ජාත්‍යන්තර මානුෂීය ආධාර රථ පෙළක් මාර්තු මාසයේදී කියුබාවට පැමිණෙනු ඇත” යයි AFP පුවත් සේවය වාර්තා කර සිටි. මේ අතර ඊයේ පෙබරවාරි 23 කොලොම්බියාව විසින් කියුබාවට යවන ලද ඛණිජ තෙල් තොගයක් ඇමරිකානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබු බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. ටොන් 800කට අධික මානුෂීය ආධාර යැවීමෙන් පසුව, කියුබාව ඉල්ලා සිටියහොත් කියුබාවට ගුවන් පාලමක් ස්ථාපිත කිරීම සඳහා පහසුකම් සැලසීමට තම රජය සුදානම් යයි මෙක්සිකානු ජනාධිපතිනි Claudia Sheinbaum මේ අතර ප්‍රකාශ කර සිටි.

පසුගිය කාලයේ ගාසා හි පලස්තීන ජනතාවට ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ යවමින් මහත් ආන්දෝලනයකට ලක් වූ ග්‍රේටා තන්බර්ග් එක්සත් ජනපද සම්බාධක මැද උග්‍ර වූ දැඩි ආර්ථික අර්බුදයක් සමඟ පොරබදමින් සිටින කියුබාවට ද ආධාර යැවීමට ඒ අනුව තීරණය කර ඇත. ඒ අනුව ග්‍රේටා තන්බර්ග්ගේ සහාය ඇතිව ජාත්‍යන්තර මානුෂීය ආධාර රැගත් රථ පෙළක් මාර්තු 21 වන දින හවානා වෙත පැමිණෙන බව එහි සංවිධායකයින් පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කළහ.

“කියුබාව හා එරට ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගීතාවය ප්‍රවර්ධනය කරනු වස් මෙම ආධාර ගුවන්, ගොඩබිම සහ මුහුද හරහා සම්බන්ධීකරණ රථ පෙළක් බවට පරිවර්තනය වී ඇති අතර එය මාර්තු 21 වන දින හවානා වෙත ලඟා වනු ඇත,” යයි එහි සංවිධායකයින් AFP වෙත එවන ලද මාධ්‍ය නිවේදනයක සඳහන් කළේය.

“මෙම සත්කාරයට ජාත්‍යන්තර ව්‍යාපාරිකයින්, වෘත්තීය සමිතිවාදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මානුෂීය සංවිධාන සහ මහජන පුද්ගලයින්ගේ ජාත්‍යන්තර සන්ධානයක්” විසින් සංවිධානය කරන ලද අතර මෙම මානුෂික මෙහෙයුම “our america ” (“අපේ ඇමරිකාව”) ලෙස හඳුන්වා ඇත. ඒ අනුව මෙම  රථ පෙළ “ආහාර, ඖෂධ, වෛද්‍ය උපකරණ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ” කියුබාවට ලබා දෙනවා ” යයි ඔවුහු වැඩිදුරටත් මධ්‍ය වෙත පවසා සිටි.

ඇමරිකා එක්සත් ජනපදයේ පීඩනය යටතේ වෙනිසියුලානු තෙල් බෙදාහැරීම් නවතා දැමීමත් සමඟ මිලියන 9.6 ක ජනගහනයක් සිටින කියුබාව වර්තමානය වන විට දැඩි ඉන්ධන හිඟයකට සහ දිගින් දිගටම සිදුවන විදුලිය ඇනහිටීම්වලට මුහුණ දී ඇති අතර, වොෂින්ටනය තෙල් අලෙවි කරන ඕනෑම රටකට එරෙහිව තීරුබදු පනවන බවට ද තර්ජනය කර සිටි.

“කියුබාවට යන මෙම රථ පෙළට මම සහාය දක්වන්නේ කියුබානු ජනතාවට රථ පෙළ මගින් ලබා දිය හැකි සියලු උපකාර අවශ්‍ය නිසා පමණක් නොව, ට්‍රම්ප් සහ (ඊශ්‍රායල අගමැති බෙන්ජමින්) නෙතන්යාහු වැනි අධිරාජ්‍යවාදී චරිතවලට එරෙහිව නැගී සිටීමට තරම් බලවත් එකම බලවේගය ජාත්‍යන්තර සහයෝගීතාවය පමණක් බව හා සිවිල් ජනතාව කුසගින්නේ තබා ගාසා හා සමානව කියුබානු ජනතාව සංහාරය කිරීමේ උත්සාහයට අභියෝග කිරීම හා එය ලොවට කියා පෑමට “යයි ග්‍රේටා තන්බර්ග්ගේ මාධ්‍ය වෙත අවධාරණය කරමින් පවසා සිටියාය.

කොලොම්බියානු ජනාධිපති Gustavo Petro පෙබරවාරි 22 වන ඉරිදා පවසා සිටියේ එක්සත් ජනපදය විසින් කැරිබියන් දූපතේදී අත්අඩංගුවට ගත් තෙල් ටැංකියක තම රටේ තෙල් තිබු බවත්, ඒවා කිසිදු ආකාරයකින් රේගු රෙගුලාසි හෝ ජාත්‍යන්තර සම්මුති උල්ලංඝණය කර නොමැති බවත්ය.

ට්‍රම්ප් පරිපාලනය මේ වනවිට කියුබාවේ තෙල් සැපයුම් කපා හැරීම සඳහා එරටට තෙල් සපයන නෞකා වලට පවා ඇමරිකානු නාවික භටයින් යොදවා අවහිර කිරීම් සිදු කරනු ලබයි. ලයිබීරියානු ධජය සහිත ඕෂන් මැරිනර් නෞකාව ජනවාරි අග දී එක්සත් ජනපදය විසින් කියුබාවට පනවා ඇති අවහිරය මඟ හාරමින් කොලොම්බියානු තෙල් කියුබාවට ලබා දීමට උත්සාහ කළ බවට ට්‍රම්ප් විසින් කොලොම්බියානු ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරනු ලැබූ අතර ඔහු එය පිළිගනු ලැබුවේය.

“අදාළ නෞකාව පිටත්ව යාමට පෙර රේගුව විසින් නිසි ලෙස පරීක්ෂා කලා. මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් මිලියන 6.9 ක්. කැරිබියන් මුහුදේ තෙල් ප්‍රවාහනය කිරීමේදී කිසිදු අපරාධයක් සිදු වූ බවට තොරතුරු පල වෙන්නේ නෑ. කොලොම්බියාව  කිසිදු අක්‍රමිකතාවයක් රාජ්‍ය අංශය මගින් හෝ පෞද්ගලික අංශය මගින් හෝ සිදුකර නැත. නැවට තෙල් පටවා ගත්තේ පෞද්ගලික සමාගමක් සහ එහි ප්‍රකාශිත ගමනාන්තය ඩොමිනිකන් ජනරජය. කියුබාව කෙරෙහි ඇමරිකානු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටිනවා” යයි කොලොම්බියානු ජනාධිපති Gustavo Petro ට්‍රම්ප් ගෙන් ඉල්ලා සිටියේ එරට පලවන EL TIEMPO පුවත්පතට ප්‍රකාශයක් කරමිනි.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු සමුද්‍රීය ලුහුබැඳීමේ දත්ත මත පදනම්ව ඇමරිකාවේ පලවන NEWYORK TIMES පුවත්පතේ විමර්ශනයකට අනුව, ඕෂන් මැරිනර් නෞකාව කොලොම්බියාවේ සිට ඩොමිනිකන් ජනරජය දක්වා යාත්‍රා කිරීමේ දී එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් අල්ලා ගැනීමට පෙර නෞකාව දෙවරක් කියුබාව දෙසට ගමන් කිරීමට උත්සහ කර ඇත. ජනවාරි මාසයේ මුලදී මෙම ඕෂන් මැරිනර් නෞකාව මෙක්සිකෝවේ සිට කියුබාවට දුර්ලභ තෙල් නැව්ගත කිරීමක් සාර්ථකව නිම කර තිබුණි.

මෙක්සිකෝව මේ සතියේ ටොන් 800 කට වඩා ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් රැගත් නැව් දෙකක් යැවීමෙන් පසු, අතිරේක මානුෂීය ආධාර සැපයීම සඳහා කියුබාව සමඟ නව ගුවන් ප්‍රවාහනයක් ස්ථාපිත කිරීමට දොර විවර කිරීමට තීරණය කර තිබේ. ඉන්ධන හිඟය ප්‍රවාහනය, සංචාරක කර්මාන්තය සහ රෝහල් සහ බලාගාර වැනි අත්‍යවශ්‍ය සේවාවන්ට ඍජුවම බලපා ඇති තත්වය තුල මෙක්සිකානු ජනාධිපතිනිය Claudia Sheinbaum ප්‍රකාශ කළේ කියුබානු බලධාරීන් විධිමත් ලෙස ඉල්ලා සිටියහොත් එවැනි ගුවන් ප්‍රවාහනයක් සඳහා පහසුකම් සැලසීමට තම රජය කැමැත්තෙන් සිටින බවයි.

Claudia Sheinbaum තව දුරටත් සඳහන් කලේ කියුබානු ස්වෛරීභාවය, රාජ්‍ය තාන්ත්‍රික මාවත සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන් දිගටම පෙනී සිටින බවත් එරට රජයේ දේශපාලන ස්වරූපය මත බලශක්ති සැපයුම් සීමා කරමින් ජනතාවක් අනතුරේ දැමීමට ඉඩ තැබිය නොහැක” යනුවෙන් ද අවධාරනය කළාය.

මේ වන විට ඉන්ධන හිඟය හේතුවෙන් දේශීය ගුවන් මෙහෙයුම් පවා පවත්වාගෙන යාමේ දුෂ්කරතා පිළිගෙන ඇති කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනල්ගේ පවසා සිටින්නේ තත්වය තවදුරටත් නරක අතට හැරෙමින් පවතින බවයි. ඉන්ධන නොමැති වීමෙන් කියුබාවේ මාර්ග පුරා කුණු කන්දල් පවා ගොඩ ගැසී ඇති බව මාධ්‍ය වාර්තා කර සිටි.

කියුබාව තුල දිනෙන් දින නරක අතට හැරෙන සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ද සිකුරාදා “අතිශයින්ම තම කනස්සල්ල” පළ කර සිටියේය.

ජනතාවට එල්ල වී ඇති සැලකිය යුතු සහ අවිචාරවත් බලපෑම සැලකිල්ලට ගෙන ඒකපාර්ශ්වික පියවරයන් වහා ඉවත් කරන ලෙස සියලුම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බව මහ කොමසාරිස්වරයා නිවේදනයකින් යලි අවධාරණය කළේය.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *