12 හැවිරිදි දැරිය ඝාතනයේ වරදකරුට මරණ දණ්ඩනය
පාසල නිම වී නිවසට යමින් සිටි 12 හැවිරිදි පාසල් සිසුවියක කැලෑ රොදකට ඇදගෙන ගොස් බලහත්කාරයෙන් ඇය දූෂණය කිරීමට තැත් කිරීමේදී දැරිය පොර බදමින් පෑව දැඩි විරෝධය හමුවේ දූෂණය කිරීමේ උත්සහය ව්‍යර්ථ වූ තැන කෲර වද හිංසා පමුණුවා සිසුවිය ඝාතනය කර පාළු ළිඳකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත ඉකුත් 6 වැනිදා ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය.
විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත පැවැසුවේ විත්තිකරුට එරෙහිව පැමිණිලි පාර්ශ්වය විසින් නගා ඇති මනුෂ්‍ය ඝාතන චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි. ඒ අනුව මිනී මැරීමේ වරදට විත්තිකරුට තමා මරණීය දණ්ඩනය නියම කළ බවද ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා මෙතැන් සිට විත්තිකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයක හා වෙලාවකදී බොටුවෙන් වැළලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා මරා දමන ලෙසට නියෝග කරන බව ද පැවැසීය.
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවට අනුව දැරියගේ මරණය සිදුව ඇත්තේ මොට බලයක් යෙදීමේ ප්‍රතිපලයක් ලෙස හිස සහ ගෙළ ප්‍රදේශයට සිදුව වූ බරපතළ තුවාල හේතු කොට ගෙන බවද පවසා සිටි විනිසුරු රුචිර වැලිවත්ත හිස් කබලේ බිඳීම් මොළය අභ්‍යන්තරයේ සිදු වූ දරුණු රුධිර වහනය සහ ගෙළ ප්‍රදේශයේ මාංශ පේෂිවලට සිදු වූ තැලුම් තුවාල ද මරණයට බලපා ඇති බවද සඳහන් කළේය.
විත්තිකරුට එල්ල කර තිබූ දැරියගේ මවගේ නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාවට ද විත්තිකරු වරදකරු බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට දඬුවම් ලෙස වසර 5 ක සිර දඬුවමක් සහ රුපියල් 25000 ක දඩයක් නියම කළ අතර දඩ මුදල නොගෙව්වොත් තවත් මාස 12 ක සිර දඬුවමක් ද නියම කෙරිණ. මෙසේ මරණ දඬුවම නියම වූයේ අම්බලන්ගෙඩ තල්ගස්ගොඩ සුදුවැල්ල පාර ලිපිනයේ මාරකන්දහේවා නලිදු සම්පත් නොහොත් පුංචා නමැත්තකුටය. වයස අවුරුදු 19 වන වියෙහි පසුවෙද්දි විත්තිකරු මෙම අපරාධය සිදු කර ඇති බව නඩු විභාගයේදී අනාවරණ විය.
2008 වසරේ දෙසැම්බර් මස 4 වන දින හෝ ඊට ආසන්න දිනයක බලපිටිය මහාධිකරණ බල ප්‍රදේශයට අයත් අම්බලන්ගොඩදී 12 හැවිරිදි පාසල් සිසුවියකගේ මරණය සිදු කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය සහ නීත්‍යනුකූල බාරකාරත්වයෙන් අපහරණය කළ බවට 354 වගන්තිය ප්‍රකාරව බලපිටිය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ. වරින් වර මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම විත්තිකාර නලිදු සම්පත් නමැත්තා මෙම අපරාධය සිදු කළ බවට කිසිදු ඇසින් දුටු සාක්ෂියක් කැඳවීමට නොහැති විය. ඊට හේතුව විත්තිකරු අපරාධය සිදු කරන ඇයුරු කිසිදු පුද්ගලයකු දැක නොතිබීමයි. එහෙත් දැරිය ඝාතනය කර තිබු ස්ථානයේ වැටී තිබිය දී පොලිසිය සොයා ගත් පිරිමි කමිසයක මඬ අංශු තැවරී තිබූ සාක්කුවක් බොත්තමක් සහ පිරිමි සෙරෙප්පුවක් අධිකරණ නියෝග මත රජයේ රස පරික්ෂකවරයා වෙත යවා රස පරික්ෂක වාර්තාවක් කැඳවීය.
එම රස පරීක්ෂක වාර්තාවෙන් තහුවරු කර තිබුණේ අදාළ මඩ අංශූ තැවරී තිබූ පිරිමි කමිස සාක්කුව පිරිමි සෙරෙප්පුව සහ බොත්තම් විත්තිකරුගේ බවට සනාථ කර තිබිණ. ඒ අනුව ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොමැතිව අපරාධය සිදු කර තිබූ ස්ථානයේ තිබු සලකුණු සහිත ස්වභාවය සහ විද්‍යාත්මක සහ පරිවේෂණීය සාක්ෂි පමණක් පදනම් කර ගනිමින් නඩුව විභාග කර විත්තිකරු වරදකරු කර ඔහුට මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මරණ දඬුවම නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සෙනුරි ගුණතිලක පෙනී සිටි අතර විත්තකිරු වෙනුවෙන් නීතිඥ ගයාන් මල්ලියාවඩු පෙනී සිටියේය. මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විසින් විත්තිකරුට අධි චෝදනා භාර දීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා බලපිටිය මහාධිකරණයට යොමු කර තිබූ අතර අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන මෙහෙයවා තිබිණ.
@අරුණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

