උසාවියට පැමිණෙන සියලුදෙනාට ගෞරවයෙන් සලකන්න – හරෂණ නානායක්කාර
උසාවියට පැමිණෙන කුමන තරාතිරමක අයෙකු වුණත් සියලු දෙනාට ගෞරවයෙන් සලකන්න යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියි.
අධිකරණ ආරක්ෂක iii වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගත් නිලධාරීන් දැනුවත් කිරිම වෙනුවෙන් මාර්ගගතව Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට අද (23) සහභාගීවෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මේ අදහස් පළ කළේය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණයට අනුව අධිකරණ ආරක්ෂක තනතුරු සඳහා 69 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු යොදා තිබේ.
එහිදී Zoom තාක්ෂණය ඔස්සේ අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
අද දින පත්වීම් ලබන ඔබ සැමට මගේ උණුසුම් සුභ පැතුම් පිරිනමනවා. අද ඔබගේ ජීවිතයේ මෙන්ම අපේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක්. අද දින ඔබ ලබා ගන්නේ පත්වීම් ලිපියක් පමණක් ම නොවෙයි. ඔබ භාරගන්නේ විශාල වගකීමක්. ඒ වගකීම වන්නේ සේවය කිරීම, ආරක්ෂා කිරීම සහ අප රටේ වැදගත්ම ආයතනයක් වන අධිකරණ පද්ධතියේ ගෞරවය සුරැකීමයි.
අධිකරණ ආරක්ෂක නිලධාරීන් ලෙස ඔබගේ කාර්ය භාරය වන්නේ විනයගරුකව, ක්‍රමවත්ව අධිකරණ පරිශ්‍රයට ආරක්ෂාව ලබාදීමයි. යුක්තිය බලාපොරොත්තුවෙන් සාධාරණය වෙනුවෙන්, තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට හෝ රාජකාරියක් ඉටු කිරීමට අධිකරණයට පැමිණෙන සෑම පුද්ගලයෙකුටම තමන් සුරක්ෂිත බවත් තමන්ට ගරු කරන බවත් හැඟී යා යුතුයි. එවැනි පරිසරයක් නිර්මාණය කිරීමට ඔබගේ දායකත්වය අත්‍යවශයයි.
මෙම ස්ථානය සැමටම ගෞරවාන්විත, විනයගරුක සහ සාධාරණ ස්ථානයක් ලෙස පවත්වාගෙන යාම සහතික කිරීමේ වගකීමෙන් කොටසක් ඔබ සතු වෙනවා. නූතන රාජ්‍ය පාලනය රඳා පවතින්නේ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් මත පවතින අන්‍යෝන්‍ය රඳා පැවැත්ම මතයි. ප්රජාතන්ත්රවාදී සමාජයක් තුළ, ජනතාව තම දේශපාලන නියෝජිතයන් තෝරා පත් කර ගන්නේ රාජ්‍යයේ ප්‍රතිපත්ති තීරණය කිරීමට සහ දිශානතිය සැපයීමටයි. ඒ සමගම, රාජ්‍ය සේවකයින් එම ප්‍රතිපත්ති කාර්යක්ෂමව හා සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම දරනවා. මෙම දෙපාර්ශවය කටයුතු කිරීමේ ස්වභාවය විය යුත්තේ එකිනෙකාව පාලනය කිරීමක් ලෙස නොව, සහයෝගීතාවය සහ හවුල්කාරීත්වයක් ලෙසයි.
කෙසේ වෙතත්, අපි අතීතයේ දී මුහුණ දුන් යථාර්ථය ද අමතක නොකළ යුතුයි. රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී නිවැරදිව කිරීමට අවශ්‍ය ස්වාධීනත්වය ලබා නොදුන් අවස්ථා තිබුණා. බොහෝ අවස්ථාවලදී මහජන මතයට නොව පෞද්ගලික අවශ්‍යතාවලට හෝ දේශපාලන හිතවත්කම් මත ඔවුන්ට බලපෑම් එල්ල වූ හෝ ඔවුන්ව අනිසි ලෙස යොදාගත් අවස්ථා ද තිබුණා. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් රාජ්‍ය සේවය සම්බන්ධව පැවති ජනතා විශ්වාසය බිඳවැටී තිබෙනවා.
නමුත් අද අපි උත්සහා කරන්නේ වෙනස්ම ප්‍රවේශයක් සමඟ ඉදිරියට යන්නයි. අපගේ රජය යටතේ, රාජ්‍ය සේවයේ වෘත්තීයභාවය, ස්වාධීනත්වය සහ ගෞරවය යළි ඇති කිරීමට සවිඥානික උත්සාහයක් ගෙන තිබෙනවා. රාජ්‍ය නිලධාරීන්ට දැන් පෞද්ගලික බලපෑම් හෝ දේශපාලන පීඩනය මත නොව, නීතියට අනුකූලව සහ ජනතාවගේ අවශ්‍යතා වලට ප්‍රතිචාර දක්වමින් තම රාජකාරි ඉටු කිරීමේ නිදහස ලබා දී තිබෙනවා. නීතිය අනුව, ජනතාව වෙනුවෙන් වැඩ කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා.
නමුත් ඒ නිදහස සමග වගකීම, විනය සහ අවංක භාවය ද පැවතිය යුතුයි. එසේ නොමැති නම් ඒ නිදහස අයථා පරිහරණයට මඟ පාදන්න පුළුවන්. එබැවින් සෑම රාජ්‍ය නිලධාරියෙකුම වගකීමෙන්, සාධාරණත්වයෙන් සහ වගවීමෙන් යුතුව කටයුතු කළ යුතුයි.
අද දින අධිකරණ ආරක්ෂක නිළධාරීන් ලෙස එක්වන ඔබගේ රාජකාරිය හුදෙක් ආරක්ෂාව හෝ විනය පවත්වා ගැනීම පමණක් නොවෙයි. ඔබගේ වගකීම වන්නේ අධිකරණ පද්ධතියේ ගෞරවය රැක ගැනීමයි. ඔබ හැසිරෙන ආකාරය, ඔබ මහජනයා සමඟ අදහස් හුවමාරු කරගන්නා ආකාරය සහ ඔබ දුෂ්කර අවස්ථාවන් පාලනය කරන ආකාරයත් ජනතාව අපේ අධිකරණය දෙස බලන ආකාරය තීරණය කරන්න හේතු වෙනවා. එබැවින් සෑම විටම ඉවසීමෙන්, ගෞරවයෙන් සහ විනයගරුකව කටයුතු කරන්න.
අපි සිටින්නේ ගෝලීය අර්බුදයක් පවතින කාලයකයි. ආර්ථික අභියෝග, භූ දේශපාලනික සහ සමාජීය අවිනිශ්චිතතාවයන්ට ගෝලීය වශයෙන් මුහුණ දී සිටිනවා. ඇති වී ඇති තත්වය පිළිබඳ අපි පුළුල් චිත්‍රය දෙස බැලීමට උත්සාහ ගෙන අපි වගකීම් සහගත සහ ගරු කටයුතු පුරවැසියන් ලෙස කටයුතු කළ යුතුයි. අනෙකුත් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද මෙම ගෝලීය තත්ත්වයන්ගේ බලපෑම අත්විඳිමින් සිටිනවා. මෙවැනි තත්ත්වයකදී, දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ලෙස පමණක් නොව, පුරවැසියන් ලෙසත් පුද්ගලික වශයෙන් පමණක් නොව, රටක් විදිහටත් සිතීම සහ කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.
රජය වශයෙන් බොහෝ අභියෝග මධ්‍යයේ වුවත් ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමටත් උපරිම උත්සාහයක් ගනිමින් සිටිනවා. නමුත් රජයට පමණක් මෙය කළ නොහැකියි. ඒ සඳහා සෑම පුරවැසියෙකුගේම විශේෂයෙන්ම සෑම රාජ්‍ය නිලධාරියෙකුගේම සහාය අවශ්‍යයි.
අද දින ඔබට පුද්ගලිකව අතිශයින් වැදගත් වනු නොඅනුමානයි. ඔබ සෑම කෙනෙකු පිටුපසම, ඔබට සහයෝගය දුන්, ඔබට මග පෙන්වූ සහ ඔබ ගැන විශ්වාසය තැබූ පවුලේ සාමාජිකයින් සිටිනවා. එම නිසා අද දවස ඔබලාට විතරක් නොව, ඔබලාගේ පවුලේ සාමාජිකයින්ටත් සතුටක් සහ ගෞරවයක් ලැබෙන දවසක්. එම නිසා මෙය ආඩම්බර විය හැකි මොහොතක්. නමුත් ඒ හා සමගම කැපවීම සහ විනය අවශ්‍ය වන ගමනක ආරම්භයක්.
මිනිසුන් උසාවියට පැමිණෙන්නේ යුක්තිය පිළිබඳ අපේක්ෂාවන් සමඟයි. සෑම පුද්ගලයෙකුටම ගෞරවාන්විතව සලකන්න. උසාවියකට පැමිණෙන ඕනෑම තරාතිරමක, කවුරුන් වුණත්, ඔවුන් සියලු දෙනාට ගෞරවයෙන් සලකන්න. ඔබ භාරගන්නා වගකීම සැබෑ, අර්ථවත් සහ දිගුකාලීන එකක්. සාධාරණ, ශක්තිමත් සහ ජනතාව විශ්වාස කරන අධිකරණ පද්ධතියක් ගොඩ නැගීම සඳහා දේශපාලන නායකත්වය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපාර්ශවයම වන අපි එක්ව කටයුතු කළ යුතු බවද අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය මාර්ගගත Zoom තාක්ෂණය ඔස්සේ නව පත්වීම්ලාභීන් අමතමින් අදහස් පළ කළ අතර, අධිකරණ ක්ෂේත්රය පිළිබඳ දැනුවත් කිරීම, අධිකරණ ආරක්ෂක තනතුරට අදාල මුලික දැනුම, අධිකරණ ආරක්ෂක තනතුරට අදාල මුලික දැනුම – විනය හා විනය පියවර සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, බී.ඩී.වයි.ආර්.විමලරත්න මහත්මිය සහ අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරී වයි.කේ.එස්.එස්.යටිවැල්ල මහතා සම්පත් දායකත්වයන් Zoom තාක්ෂණය ඔස්සේ අදහස් පළ කරන ලදී.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

