ට්‍රම්ප් දින 5කට යුද්ධය අත්හිටුවයි – ට්‍රම්ප් පසුබැස්සා ඉරානය කියයි
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාර අත්හිටුවූ බව අමෙරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නිවේදනය කළේය. ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය කරමින්ද, ගෝලීය ආර්ථිකය උඩුයටිකුරු කරමින්ද දින 23ක් පුරා ඇදී ගිය යුද ගැටුම් දින 5කට අත්හිටුවූ බව ඊයේ ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඔහු මේ නිවේදනය නිකුත් කරනු ලැබුවේ ඉරාන හමුදාව විසින් අවහිර කරනු ලැබූ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරිමට ලබා දුන් පැය 48ක කාලසීමාව සම්පූර්ණ වීමට තවත් පැය 12ක් ඉතිරිව තිබියදීය. ලොවම තැතිගැන්මෙන් බලා සිටි එම කාලසීමාව ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 5.00ට අවසන් වීමට නියමිතව තිබිණි.
මැදපෙරදිග යුද්ධයට සහ සියලු සතුරුකම්වලට පූර්ණ විසඳුමක් සොයා ගැනීම සඳහා පසුගිය දෙදින පුරා අමෙරිකාව සහ ඉරානය අතර සවිස්තරාත්මක සහ ඉතා ඵලදායි සාකච්ඡාවක් පැවත්වූ බවත්, එය මේ සතිය පුරාම අඛණ්ඩව සිදුවනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ. එබැවින් එම සාකච්ඡාවලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනතුරු ඉරාන බලාගාරවලට සහ සියලු බලශක්ති යටිතල පහසුකම්වලට පහරදීම දින 5ක කාලසීමාවකට කල් දමන ලෙස ආරක්ෂක දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවේදනයට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ඉරානයේ විප්ලවීය ආරක්ෂක හමුදාව නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි සඳහන් කර ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට පැය 48ක් ලබා දෙමින් ට්‍රම්ප් සිදු කළ තර්ජනයට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග සියලු බලාගාර විනාශ කරන බවට ඉරානය කළ අනතුරු ඇඟවීම හේතුවෙන් ඔහුට පසුබැසීමට සිදුවූ බවය. සෘජු හෝ වක්‍රාකාරයෙන් ඉරානය ට්‍රම්ප් සමඟ කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බව ද ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව වැඩිදුරටත් නිවේදනය කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවේදනයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද පහළ ගොස් ඇති අතර, ඊයේ උදෑසන වනවිට අමෙරිකානු ඩොලර් 112.90ක් වූ බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල පස්වරුව වනවිට 96.00 දක්වා පහත වැටුණු අතර, ටෙක්සාස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98.61 සිට ඩොලර් 92.36 දක්වා පහත වැටී තිබිණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

