ලංගමයට නවීන සුඛෝපභෝගී බස්රථ 200ක්
නොමිලේ බස් 4ක් ලැබිලා / තවත් 600ක ඇණවුමක්
ජාතික ප්‍රවාහන ප්රමිතීන් නංවන පියවරක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) අධිවේගී මාර්ග මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව සුඛෝපභෝගී බස් රථ 200ක් මිල දී ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ටෙන්ඩර් කැඳවා ඇත.
මෙරට පොදු ප්‍රවාහන සේවය නවීකරණය කරමින් මගී ජනතාවට වඩාත් සුවපහසු සහ උසස් ප්‍රවාහන සේවාවක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
මෙම නව බස් රථ සේවාවට එක් කිරීම මඟින් අධිවේගී මාර්ග සහ දුරගමන් බස් සේවාවන් වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂිතය. එමෙන්ම, මෙම ක්‍රියාවලිය හරහා ජාතික ප්‍රවාහන ප්රමිතීන් ඉහළ නැංවීමට ද ප්‍රවාහන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
මීට අමතරව තවත් බස් රථ 600ක ඇණවුමක්ද ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම සති අන්තයේ දී මේ බස් රථ 200ක ඇණවුමක් සඳහා ලංසු කැඳවන බවත්, එහිදී ද පෞද්ගලික වාසි තකා කටයුතු නොකර අවම වශයෙන් බස් රථ 10-15ක් වත් රජයට නොමිලේ ලබාගැනීමට සාකච්ඡා කරන ලෙස තමන් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කෙළේය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ බළඇණිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ දී මෙරටට ගෙන්වීමට නියමිත බස් රථ 100ක ඇණවුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ප්‍රවාහන ක්ෂේත්රය තුළ පැවැති පැරණි දූෂිත දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, පෞද්ගලික කොමිස් මුදල් වෙනුවට රජයට නොමිලේ බස් රථ ලබාගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව ද හෙතෙම කීවේය.
රුපියල් ලක්ෂ 420ක් (මිලියන 42ක්) වටිනා බස් රථ 100ක් මිල දී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ දී තමන් හෝ අමාත්‍යවරයා හෝ ලේකම්වරයා කිසිදු පෞද්ගලික වාසියක් හෝ කොමිස් මුදලක් ඉල්ලා නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
“පහුගිය කාලේ මෙවැනි ගනුදෙනු වෙද්දී ඇමැතිලාට, නියෝජ්‍ය ඇමැතිලාට හෝ ලේකම්ලාට පංගුවක් ඉල්ලනවා. ඒත් අපි සතයක්වත් ඉල්ලලා නැහැ. අපි අදාළ සමාගමෙන් ඉල්ලා සිටියේ රටේ ජනතාව වෙනුවෙන් අපිට මොනවා හරි නිකන් දෙන්න කියලා. ඒ අනුව රුපියල් ලක්ෂ 420 බැගින් වටිනා බස් රථ 4ක් රජයට නොමිලේ ලබාදීමට එම සමාගම එකඟ වුණා” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ලංගම යටතේ ස්ථාපිත කරන ලද ‘මෙට්‍රෝ බස් සමාගම’ හරහා මෙම බස් රථ ජූලි සහ අගෝස්තු මාස වන විට මෙරට මාර්ග පද්ධතියට එක් කිරීමට නියමිතය. එමෙන්ම, ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් ගමන් කළ හැකි (low-floor) බස් රථ 10ක් දැනටමත් ලැබී ඇති අතර තවත් එවැනි බස් රථ 100ක් ඉදිරියේ දී ලැබීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

