පීට් හෙග්සෙත්ගේ පච්ච මෝස්‌තර
(වංගීස සුමනසේකර)
ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ ශරීරයේ ඇති පච්ච මෝස්‌තර ඔහුගේ දේශපාලනය ගැන බොහෝ දේ කියයි. ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන පච්චයක් වන්නේ පපුවේ මැද ඇති විශාල “ජෙරුසලම් කුරුසය” (Jerusalem cross) ය. මෙය විශාල කුරුසයක් වටා කුඩා ග්‍රීක කුරුස හතරක් ඇති සංකේතයකි. 11 වැනි සියවසේ යුරෝපයේ කුරුස යුද්ධ (Crusades) සමයේදී මෙම සංකේතය භාවිත වූ අතර, කුරුස යුද්ධ භටයන් විසින් පිහිටුවන ලද ජෙරුසලම් රාජධානිය ඉන් නිරූපණය විය.
මෙම කුරුස යුද්ධ සංකේත වර්තමානයේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් අතර ජනප්‍රිය වෙයි. ඔවුන් මෙම සලකුණු සලකන්නේ මුස්ලිම්වරුන්ට සහ යුදෙව්වන්ට එරෙහිව යුරෝපීය ක්‍රිස්තියානීන් කළ යුද්ධවල මතකය සිහිපත් කරන්නක් ලෙසිනි. 2019 වසරේ නවසීලන්තයේ පල්ලිවලට එල්ල වූ සමූහ වෙඩි තැබීමේ අපරාධකරු ද මෙවැනි කුරුස යුද්ධ සංකේත භාවිත කර තිබූ අතර, 2021 ජනවාරි 6 වන දින එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු පිරිස් අතර මෙන්ම 2017 වර්ජිනියාවේ චාලට්ස්විල් හි පැවති අන්ත දක්ෂිණාංශික රැලියකදී ද මෙම සංකේත දක්නට ලැබුණි.
මීට අමතරව හෙග්සෙත්ගේ බාහුවේ “Deus Vult” යනුවෙන් පච්චයක් කොටා ඇත. ලතින් භාෂාවෙන් එහි අර්ථය “එය දෙවියන්ගේ කැමත්ත වේ” යන්නයි. මෙම වැකිය 1096 වසරේ පළමු කුරුස යුද්ධයේදී සටන් පාඨයක් ලෙස භාවිත විය. හෙග්සෙත් විසින් 2020 දී ලියන ලද “American Crusade” නමැති ග්‍රන්ථයේ අවසාන වාක්‍යය වන්නේ ද මෙයයි.
හෙග්සෙත්ගේ අතේ කුරුසයක් සහ කඩුවක් සහිත පච්චයක් ද ඇති අතර, ඔහු පවසන්නේ එය නව ගිවිසුමේ බයිබල් පදයක් නිරූපණය කරන බවයි. මතෙව් 10:34 හි සඳහන් එම වැකිය වන්නේ: “පොළොවෙහි සමාදානය දෙන්ට මම ආවෙමියි නොසිතන්න. සමාදානය නොව කඩුවක් දෙන්ට ආවෙමි.”
එක්තරා අර්ථයකින් අප මේ අත්දකිමින් සිටින්නේ සහරාන්, මහසෝන් බලකාය වැනි අන්තවාදී දේශපාලනය බලවේගයක් ලෝකයේ බල කේන්ද්‍රයේ බලයට පැමිණීමේ ප්‍රතිඵලයයි. මෙය ඇදහිය නොහැකි අධියථාර්ථවාදී රංගයක් කියා අපට සිතෙන්නේ මෙම නිසාය.
නමුත් මෙහි සාධනීය මානය වන්නේ මෙය ලෝක දේශපාලනයේ වෙනසක් සඳහා බලාපොරොත්තුවක්ද රැගෙන ඒමයි. මෙයට හේතුව වන්නේ මෙයටත් වඩා නරක තත්වයක් ඇති වීමේ හැකියාව ඉතාම අඩු වීමයි. මෙතැනින් පසු – න්‍යෂ්ඨික අවි ක්‍රියාත්මක වන ලෝක විනාශයක් වැනි දෙයක් නොවන්නේ නම් – වියහැක්කේ මෙයට වඩා යහපත් පරිවර්තනයක් පමණි. මෙම නව කුරුස යුද්ධයේ හානිය විශාල වුවත් මෙය අපට ඇමරිකානු දේශපාලනයේ සුබවාදී පරිවර්තනයක් පිළිබඳව බලාපොරොත්තුවක්ද ගෙන එයි. ඒ අන් කිසිවක් නිසා නොව එය ගමන් කර ඇති උමතු අන්තයට පසු එහි විනාශ වීමට දෙයක් නොමැති වීමයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

