Latestදේශීය

රටතුළ ඇතිතරම් පොහොර තිබෙනවා – නාමල් කරුණාරත්න

රට තුළ දැනට පවතින පොහොර තත්ත්වය පිළිබඳව ගොවි ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පොහොර තොග මේ වන විට රට තුළ පවතින බවත් කෘෂිකර් ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අද (11) ප්‍රකාශ කළේය.

මොරගොල්ලගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොහොර බෙදා හැරීම් සම්බන්ධව නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය. මහ කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර (TSP) සහ MOP පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් රට තුළ පවතින බව අමාත්‍යවරයා පැවසීය. පසුගිය යල කන්නයේදී ටොන් 13,000ක් පමණ භාවිත වුවද, දැනට රට තුළ MOP පොහොර ටොන් 38,000ක් රට තුළ පවතින බව ඔහු අනාවරණය කළේය. යූරියා සම්බන්ධයෙන් පැවති සුළු හිඟය මගහරවා ගැනීම සඳහා අලුතින් ටොන් 25,000ක යූරියා පොහොර නැවක් දිවයිනට ලගා වූ අතර රටතුළ පවතින පොහොර තොග ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් බෙදා හරිමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.

පැවති යුද තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ පොහොර මිළ ඉහළ යාමත් සමග නව පොහොර මිටියක සිල්ලර මිල රුපියල් 17,000ක් පමණ වන විට, රජයේ මැදිහත් වීමෙන් එම පොහොර මිටියක් රුපියල් 10,200ක සහන මිලකට ගොවීන්ට ලබා දීමට කටයුතු කර තිබේ.

පොහොර සඳහා ගොවීන්ගේ මූල්‍ය බර සැහැල්ලු කිරීම සඳහා රජය විසින් පොහොර සහනාධාරය ද ඉහළ නංවා ඇත. හෙක්ටයාර දෙකක් සඳහා මීට පෙර ලබා දුන් රුපියල් 30,000ක පොහොර සහනාධාරය නව ආණ්ඩුව පත්වීමත් සමග රුපියල් 50,000 වැඩි කල බවත් , මේ වන විට එම සහනාධාරය රුපියල් 60,000 දක්වා දෙගුණයකින් වැඩි කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

පැවති යුද තත්ත්වයන් හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින මෙවන් මොහොතක, ගොවි ජනතාවට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට රජය කැපවී සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *