දැන්වත් රංගට සැනසීමේ නිදන්න ඉඩදෙන්න
(අමිල ඉන්ද්‍රනාත් නන්දසිරි)
සිදු නොවිය යුතු දෙයක් සිදුවී හමාරය. ඔහු නික්ම ගොසිනි. ඔහු මියගොස් දින කිහිපයක් ගතව ඇති මුත්, සැබෑවටම ඔහු කවරෙක්දැයි නොදන්නා විවිධ පාර්ශවයන් විසින් යලි යලිදු ඔහුව ඝාතනය කරමින් පවතින බැවින් ලියමි.
හිතවත, කරුණාකර නවතින්න. ඔබ ඔහුව පුද්ගලිකව නාඳුනන්නේ නම්, ඔහුව විනිශ්චය කිරීමෙන් වලකින්න. දැන්වත් ආදරණීය රංග අයියාට නිදහසේ සැතපෙන්නට ඉඩදෙන්න.
රංග නිශාන්ත යනු අදින් වසර 13 ට පෙර විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ චීන අංශය තුලදී එක්ව රාජකාරි කල මාගේ සහෘද හිතවතාය. රාජකාරී කටයුතු සඳහා ලෝබකමක් රහිතව මට මගපෙන්වූ, ගුරු මුෂ්ටි රහිතව උදවු කල මිතුරාය. කිසිදු දේශපාලනික න්‍යාය පත්‍රයක් ඔහුට තිබුණේ නැත. නැවත අවධාරණය කර කියමි. ඔහු දේශපාලනය කරේ නැත. ඔහු කිසිදු පක්ෂයක කාඩර්වරයෙකුද නොවීය. ඔහු වැඩ කලේ ශ්‍රී ලංකා රාජ්‍යයටය. ඔහු විවිධ ආණ්ඩු පහකට ආසන්න සංඛ්‍යාවක් බලයේ සිටියදී, සැමට එක සේ තම රාජකාරිය සිදු කල ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයට අයත් රජයේ විධායක ශ්‍රේණියේ නිලධරයෙකු පමණක් විය. ඔහු ජයවර්ධනපුර සරසවියේ ආදි විද්‍යාර්ථයෙක් වූ අතර, දකුණු කොරියාවේදී සිය පශ්චාත් උපාධිය ලබා කැපවීමෙන් රාජ්‍ය සේවයේ නියුතු වූවෙකි.
නමුත් ඔහු සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකු නොවේ. මාගේ රාජකාරී කාලය තුල මා දුටු ඉතා ඉහල හැකියාවක් තිබූ, අති දක්ෂ නිලධාරීන් අතලොස්සෙන් කෙනෙකි. රංග අයියාව නොදන්නා ඇතැම් බුකී ලියන්නන්ට අනුව රංග අයියා යනු වත්මන් ආණ්ඩුව විසින් මුදල් අමාත්‍යාංශයට හෙලිකොප්ටර් දේශපාලන පත්වීමක් ලබාදුන් කුලියාපිටියේ ගොවියෙකි. නැත. කිසිසේත්ම නැත. ඔහු වසර 18 ක සේවා කාලයක් සහිත, විවිධ ආණ්ඩු ගණනාවක් බලයේ සිටියදී නොවෙනස්ව භාරදූර්ය රාජකාරි වගකීම් ඉටු කල අවංක, අදීන නිලධාරියෙකි. එයිනුත් වසර 14 ට අධික කාලයක් ඔහු සිය සේවා සැපයූයේ මුදල් අමාත්‍යාංශය වෙනුවෙනි. ඔබ අද පහසුකම් භුක්ති විඳින බොහෝ විදේශ ව්‍යාපෘති සඳහා කැබිනට් මණ්ඩල සංදේශ හා නිරීක්ෂණ කෙටුම්පත් වූයේ ඔහුගේ සුරතිනි. ඩොලර් මිලියන ගණන්වල ව්‍යාපෘති ගිවිසුම් කෙටුම්පත් පරීක්ෂා කිරීමේ පරිචයක් තිබූ ඔහු, වැඩ ඉවර වන්නේ කීයටද, ඒ වේලාවට තිබෙන දුම්රියේ නැගී කීයට හරි ගෙදර සොයා යන්නෙකි. නැවත පාන්දර හතරට අවදිව කාර්යාල දුම්රියේ නැගී කොලඹ කොටුවට වැඩට එන සරල සුන්දර මිනිසෙකි.
ඔහු සතු වූයේ එක් දුර්වලතාවයකි. තමන්ට අත් වැරදීමකින් හෝ රාජකාරි අතපසුවීමක් සිදුවුවහොත් ඔහු ඕනෑවටත් වඩා පසු තැවෙයි. උපරිම වෙහෙස ගෙන එය නිවැරදි කරයි. එකල මට එය අරුමයක් වූයේ නැත. නමුත් අද දනිමි, එතරම් තම රාජකාරී විෂය කෙරෙහි සංවේදී වන නිවැරදි රාජ්‍ය නිලධාරීන් ඉතා අල්පය. එසේම, ඇතැම් රාජකාරිමය අතපසු වීම් පසුව කොතෙක් උත්සාහ කලද නිවැරදි කල නොහැක.
අවසානයේ, එකී ගුණාංගයම ඔහුගේ ජීවිතය පිලිබඳව අවසන් තීරණය ලබා දූන් බව මම විශ්වාස කරමි. බොහෝ විට, ඔහුගේ අධීක්ෂණය යටතේ පැවති ක්‍රියාවලියක් යටතේ සිදු වූ මරණීය අත්වැරදීමකට (Grave Mistake), රටට විශාල පාඩුවක් වන ඉහල මූල්‍ය වටිනාකමකින් යුතු අත් වැරදීමකට, ඔහු ජීවිතය බිල්ලට තබා වගකීම ගන්නට ඇත. ඒ මා දන්නා රංග අයියාගේ වගවීමේ හැටිය. කිසියම් දිනෙක, අදාල පරීක්ෂණ මගින් අනෙකක් හෙලි වූවොත් හැර, මා දන්නා රංග අයියා හිතේ වේදනාව ඉවසා ගත නොහී, තම ජීවිතයට සමුදී, ඒ වේදනාවට තිත තබන්නට හිත හදාගන්නා ලද මිනිසෙකු බව මම තරයේ විශ්වාස කරමි.
රජයේ සේවය තුල හොරුන් කිසිදාක සිය දිවි නසා ගන්නේ නැත. නමුත්, හිතා මතා වැරදි නොකරන අධි සංවේදී රාජ්‍ය නිලධාරීන්ට, අත්වැරදීමකින් පසු ලැබෙන සුළු දෝෂාරෝපණයක් පවා දරාගත නොහැක. එවැන්නක් වූ විගස, ඔහුගේ හෝ ඇයගේ වැඩ තහනම් වෙයි. විවිධ ආයතන මගින් පරීක්ෂණ ඇරඹේ. මාධ්‍ය තමන් සිටගන්නා දේශපාලන පිලේ සිට ඔහු පිලිබඳ විවිධ අර්ථකථන ලබා දේ. සියලු ලිපි සිරස්තල ඔහු වෙනුවෙනි. පරීක්ෂණ වලින් අනතුරුව ඔහු නිදොස් කොට නිදහස් කලද, ඒ ප්‍රවෘත්තියට පෙර කී ප්‍රමුඛතාවයවක් නොලැබේ. ඉනික්බිති, යමෙකු සියදිවි නසාගතහොත්, කුණු රස හොයන ගිජුලිහිණි මාධ්‍යකරුවන් පවුලේ ශෝකය හා මලකුණද රස විඳී. එම කුණු රසයම හොයන බොහෝ අයටද එය බෙදා හරියි. එවිට පසෙක සිටින අවස්ථාවාදී දේශපාලන නරි ද එහි කොටස් භුක්ති විඳී.
රංග අයියාගේ මරණයේදී ද සිදුවන්නේ මෙයමය. දේශපාලන පිල් දෙකක් ඔහුගේ මරණය තමන්ගේ පාර්ශවයට වාසිදායක වන පරිදි උත්කර්ෂයට නංවන, නිහීන, තුච්ඡ මාධ්‍ය සංදර්ශනයක් දකිමි. එක් දෙයක් දනිමි. තම මරණයෙන් මතු, මේ ආකාරයට තමා විකිණෙන බව දන්නේ නම්, රංග අයියා කිසිදාක දිවි නසා ගන්නේ නැත. ඔහු එතරම් ප්‍රතිපත්තිගරුක මහත්මයෙකි.

ඔහු අතින් රාජකාරීමය අත් වැරදීමක් වූවා දැයි ස්ථිරවම මා දන්නේ නැත. එසේ වී තිබේ නම්, රැකියාවල නියුතු, කිසිදාක රාජකාරිමය අතපසුවීමක් සිදුව නැති, හදවතින්ම නිර්දෝෂී මහත්වරුනි, නෝනාවරුනි,
“එන්න. රංග නිශාන්තට පලමු ගල ගසන්න.”
රංග අයියා තම පවුලට, දියණියන්ට අතිශයින් ප්‍රේම කලේය. වසර දහතුනකට පමණ පෙර, එවකට කුඩා වියෙහි සිටි දියණියන්ගේ අනාගතය ගැන ඔහු දකින සිහින මවෙත පවසා ඇත. එහෙත්, දියණියන් එම සිහින සැබෑ කරන්නට ඔන්න මෙන්න තිබියදී ඔහු යන්නට තීරණය කර ඇත. එසේ වන්නට ඔහුට අතිශය සාධාරණ හේතුවක් පවතින්නට ඇත. මා දන්නා රංග අයියාගේ මෙවන් නික්ම යෑමකට පවා පැහැදිලි අරමුණක් තිබිය යුතුය. ඔහුගේ ඒ අරමුණ, ඔහු පැතූ දේවල් ඒ ආකාරයෙන්ම ලැබේවා යැයි පතමි.
සහෘද හිතවතුනි, මිනිසුනි,
නැවතත් දණ නමා ඔබට ආයාචනය කරමි. රංග නිශාන්තට දැන්වත් සැනසීමෙන් නිදන්නට ඉඩ දෙන්න.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

