යුද්ධය නැවතත් ලෝකය කලඹයි
(ජනරංග දේවසුරේන්ද්‍ර)
සති කිහිපයක සටන් විරාමය නිල වශයෙන් අවසන් කරමින් අද(05) ඉරානය සහ ඇමරිකාව අතරේ නැවත වතාවක් ගැටුම් ආරම්භවෙලා තියන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ස්ථිරසාර සාම ගිවිසුමක් වෙනුවෙන් පාර්ශව ගණනාවක් තමන්ගේ උපරිම මහන්සිය දරද්දි, ආයෙත් වතාවක් මේ විදිහට දෙපාර්ශවය අතරේ ගැටුම් ඇතිවෙන්නේ කාරණා කිහිපයක් පදනම් කරගෙනයි.
අප්‍රේල් 08 වැනිදා ඇතිකරගත්ත සටන් විරාමයෙන් පස්සේ ඉරානය හෝර්මුස් සමූද්‍ර සන්ධිය නිල වශයෙන් විවෘත කලා. ඒ වගේම භාණ්ඩ ප්‍රවාහන නැව් ගණනාවකට ඒ හරහා ගමන් කරන්නත් ඉඩකඩ ලබාදුන්නා. ඒත් ඇමරිකාව සහ ඉරානය අතරේ තිබුණු එකඟතාවල පරස්පර විරෝධී තත්ත්වයන් එක්ක වගේම ඉරානය හෝර්මුස් හරහා ගමන් කරන නෞකාවලින් මුදල් අයකිරීමේ උත්සහයට විරෝධය දක්වමින් ඇමරිකාව ඉරානයේ තෙල් අපනයනය කරන යාත්‍රාවලට හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන් පිටවෙලා යන්න තියන ඉඩකඩ අවහිර කරන්න පටන්ගත්තා.
මේකේ ප්‍රතිඵලයක් විදිහට ඉරානය නැවත වතාවක් හෝර්මුස් වසාදමන්න කටයුතු කලා. ඒ නිසා ඉරානයේ හෝ කිසිඳු රටක නෞකාවකට මේ සමුද්‍ර කලාපය පහුකරලා යන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒකත් එක්ක නැවත වතාවක් ලෝකයේ ඛනිජ තෙල් සහ ගෑස් සැපයුම අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුවුණා. ඊටත් වඩා ඇමරිකාවට වගේම ඉරානයට දැනෙන හානියක් සිදුවෙමින් තිබුණා. ඒ තමයි මේ රටවල් දෙකෙන් සහ මැද පෙරදිග අනිත් රටවල්වලින් තෙල් මිලට ගන්නා රටවල් ගණනාවක්ම රුසියාව සහ චීනයේ තෙල් වෙළඳපොල දිහාවට හැරෙන්න පටන්ගත්තා.
මේ අතරේ ඇමරිකාව ඉරානයේ තෙල් ප්‍රවාහන නෞකාවලට අවහිර කිරීම, පහරදීම සහ නෞකා පැහැරගැනීමත් එක්ක තවදුරටත් මැදපෙරදිග ‘සටන් විරාමය’ ට ආයුෂ නැති බව පෙනෙන්න තිබුණා. ඒ වගේම ඇමරිකානු යුද නෞකා සහ ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ නෞකා ගණනාවකට පර්සියන් මුහුදු සීමාවේදී හානිවීම එක්ක ඉරානයේ ඉවසීමේ සීමාව පැන්නා. ඇමරිකාව මාධ්‍යයට කිව්වේ තමන් පහරදුන්නේ ඉරානයේ මිලිටරි යාත්‍රාවලට කියලා. නමුත් ඒ වෙද්දිත් ඇමරිකාව දිගින් දිගටම සටන් විරාමයේ එකඟතා සම්පූර්ණයෙන්ම වගේ බිඳදමලා තිබුණා.
එවැනි පසුබිමක ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඇතුල්වෙන්න උත්සහ කරපු ඇමරිකානු මිලිටරි යාත්‍රා කිහිපයකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කලා. ඒ වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාලතම සහ ප්‍රධානතම තෙල් පර්යන්තයක් වන පුජයිරා වෙතට මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ලවුණා. ඒකත් එක්කම නැවත වතාවක් ඇමරිකාව සහ ඉරානය අතරේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මේ වෙද්දි ආරම්භවෙලා.
මැදපෙරදිග සටන් විරාමය එක්කම ලෝක ආර්ථිකය සහ බලශක්ති ක්ෂේත්රය යම්කිසි සහනදායී තැනකට ගමන් කරමින් තිබුණා. නමුත් අවාසනාවකට ඒ තත්ත්වය තිබුණේ මාසයකටත් අඩු කාලයක් විතරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

