ප්‍රවාහනයේ ආරක්ෂාවට රක්ෂණ සමාගම්වල දායකත්වය
රජය විසින් ක්‍රියාත්මක කර ඇති “මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහන” සාර්ථකව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා නෛතික හා ප්‍රායෝගික පියවර රැසක් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
එම වැඩසටහන මඟින් ප්‍රවාහන ආරක්ෂාව ඉහළ ප්‍රතිශතයකින් තහවුරු කිරීමත්, ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමත් අරමුණු කරගෙන කෙටි, මධ්‍ය හා දිගුකාලීන ජාතික වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කෙරේ.
මෙම ජාතික වැඩසටහන සඳහා මෙරට රක්ෂණ සමාගම්වල දායකත්වය ලබාගැනීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පැවැත්වුණු අතර, ප්‍රවාහන ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා රක්ෂණ ක්ෂේත්රයට ලබාදිය හැකි දායකත්වය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ප්‍රමිතිගත හා ආරක්ෂිත රථවාහන භාවිතය සහ සුරක්ෂිත රිය ධාවනය ප්‍රවර්ධනය කිරීම සඳහා වගකීමෙන් කටයුතු කරන රියදුරන්ට දිරිගැන්වීම් ක්‍රමවේද හඳුන්වාදීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම, වාහනවල ධාවන සුදුසුකම මත පදනම් වූ නව රක්ෂණ ක්‍රම හඳුන්වාදීම, අධිවේගී මාර්ග සඳහා විශේෂ රක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම, පාපැදිකරුවන් සහ පදිකයින් සඳහා විකල්ප වන්දි යෝජනා ක්‍රම හඳුන්වාදීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
ඩිජිටල් රක්ෂණ කාඩ්පත් භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ දැනට රක්ෂණ ආවරණයක් නොමැති දුම්රිය මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා නිශ්චිත රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
රථවාහන අනතුරු හේතුවෙන් වාර්ෂිකව සිදුවන 2,750කට අධික ජීවිත හානි අවම කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රවාහන ආරක්ෂිත ප්‍රතිසංස්කරණවලට මගීන් සහ රියදුරන් වඩාත් සමීපව සම්බන්ධ කරගැනීම වෙනුවෙන් රක්ෂණ සමාගම්වල නව යෝජනා ඉදිරියේදී ලබාගැනීමට ද නියමිතය.
මෙම අවස්ථාවට රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමයන්ති ප්‍රනාන්දු, ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ සභාපති ලසිත විමලධර්ම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති නුසිත් කුමාරතුංග, ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ පරිපාලන ලේකම් ජේ. එම්. නියාස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි ප්‍රධාන විධායක නිලධාරී සමීර ධර්මසේන, කොන්ටිනෙන්ටල් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙරී ගුණදාස ඇතුළු රක්ෂණ ක්ෂේත්රයේ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

