ප්‍රධාන ජලාශ 09ක් වාන් දමයි
පවතින වර්ෂාපතනයත් සමග දිවයින පුරා පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 5ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ මෙම ජලාශ අතරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, මොනරාගල දිස්ත්‍රික්කයේ වෙහෙරගල, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, කුරුණැගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය යන ජලාශ පවතින බවය.
ඒ අතරින් මේ වන විට ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර එමගින් තත්ත්පරයකට ඝන අඩි 4,000කට අධික ජල ප්‍රමාණයක් කිරිඳිඔය වෙත නිකුත් කරමින් පවතින අතර වෙහෙරගල ජලාශයද වාන් දොරටු 6ක් විවෘත කරමින් තත්ත්පරයකට ඝන අඩි 1,400කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත නිකුත් කරමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව රාජාංගන ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 9,300කට අධික ජල ප්‍රමාණයක් කලා ඔය වෙත නිකුත් කරමින් පවතින බවත් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 5,500ක් මේ වන විට දැදුරු ඔය වෙත නිකුත් කරමින් පවතින බවද පැවසූ ඒ මහතා අලිකොටආර ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 500කට අධික ජල ප්‍රමාණයක් කිරිඳිඔය වෙත නිකුත් කරමින් පවතින බවද පැවසීය.
මේ හේතුවෙන් මෙම වාන් දමන ජලාශ පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව සහ ජලාශ අවට පදිංචි ජනතාව මෙම වාන් දැමීමේ නිවේදන සහ වාන් දමන ප්‍රමාණයන් සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් එම ජලාශයන් මත ලැබෙන ජල ප්‍රමාණයන් මත සහ ඉදිරියේදි ලැබෙන වර්ෂාපතනයන් අනුව මෙම වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස් වීමට ඉඩ ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම ජල මට්ටම් සහ වාන් දොරටු විවෘත කිරීමේ නිවේදන සම්බන්ධව විශේෂ අවධානයකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

