ෆොන්සේකා මරන්න ආ විත්තිකරුවන් දෙදෙනාට ඇප
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ අරමුණින් එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක යොදවා ප්‍රහාරයක් සිදු කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ නඩු පවරා සිටි විත්තිකරුවන් දෙදෙනකුට වසර 17කට පසු කොළඹ මහාධිකරණය ඊයේ (30) ඇප නියම කළේය.
ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම නිසා එම චුදිතයන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධි සී. රාගල මහතා නියෝග කළේය. රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් සහ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 4ක් විත්තිකරුවන්ට අධිකරණය නියම කළ අතර, එම ඇප තැන්පත් කිරීමට ඔවුන් අසමත් විය.
එම ඇප කොන්දේසිවලට අමතරව සතියේ 2 වැනි සහ 4 වැනි ඉරිදා දිනවල උදෑසන ත්‍රස්ත මර්දන කොට්ඨාසයට වාර්තා කිරීමට හා චුදිතයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමට නියම විය. මෙලෙස ඇප හිමිවූයේ ශම්මුගලිංගම් සූරියකුමාර් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් ‘ධනුෂ්’ යන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යැයි කියන විත්තිකරුවන් දෙදෙනාටය. විත්තිකරුවන් මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට කළ ඉල්ලීමක් අනුව වසර 17ක් වැනි දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සැලකිල්ලට ගෙන මෙම ඇප දීමට නියෝග කෙරිණි. එම නියෝගය අනුව මහාධිකරණයේදී ඇප හිමි විය.
චුදිතයන්ට විරුද්ධව ඉදිරිපත්ව ඇති චෝදනාවලට නියම කළ හැකි උපරිම දඬුවම වන්නේ වසර 20ක සිරදඬුවමකි.
2006 අප්‍රේල් 25 වනදා කොළඹ යුද හමුදා මූලස්ථාන පිවිසුම් දොරටුව අසලදී ‘දුර්ගා’ නමැති එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරිය විසින් මෙම ප්‍රහාරය එල්ල කරන ලදී.
මෙම සිදුවීමට අදාළව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 230ක් යටතේ නඩුව පවරා තිබුණි.
එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා බරපතළ ලෙස තුවාල ලැබූ අතර, ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සැරයන්වරයෙකු සහ කෝප්‍රල්වරුන් තිදෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් සහ සිවිල් වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
විත්තිකරුවන්ට මෙම නඩුවට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොරලැස්ගමුවේදී ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේ සහ හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා වැලිවේරියේදී ඝාතනය කිරීමට අනුබල දීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබිණි.
ප්‍රනාන්දුපුල්ලේ ඝාතන නඩුවෙන් එම චුදිතයන් හා විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ නිදහස් විය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල නඩුවේ චුදිතයන්ට අදාළ ඇප නියෝගය ලබන අගෝස්තු 7දා ප්‍රකාශ කිරීමට නියමිතය. මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන සෙල්වරාසා කිරුබාකරන් හෙවත් ‘මොරිස්’ වෙනත් නඩුවකට වැරදිකරු වී සිරදඬුවම් නියමව සිටින බැවින් ඔහු සම්බන්ධයෙන් ඇප නියෝගයක් ඉදිරිපත් නොවිණි.
අධිකරණය හමුවේ පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටි අතර, විත්තිය වෙනුවෙන් නීතිඥ සුරංග බණ්ඩාර සහ නීතිඥ ආනෝල්ඩ් ප්‍රියන්තන් යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

