Latestක්‍රීඩාදේශීය

රුමේෂ් ලෝකයෙන්ම අංක එකට

ජාත්‍යන්තර මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ නවතම ලේඛනය අනුව හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලොව අංක එකට පිවිසීමට ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග සමත් වෙයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ජාත්‍යන්තර මලල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ලොව අංක එකට පත් වූ එකම ස්වර්ණමය අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ. ඊයේ ප්‍රකාශයට පත්වූ නවතම ජාත්‍යන්තර මලල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ රුමේෂ් තරංග ලකුණු 1354ක් ගෙන සිටින අතර, ජර්මනියේ ජුලියන් වේබර් ලකුණු 1348ක් ගෙන දෙවැනි තැන සිටී.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උ‍ලෙළේදී දැක්වූ දක්ෂතා අනුව ජාත්‍යන්තර මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලොව අංක 1 දක්වා ඉහළ නැඟීමට රුමේෂ් තරංග සමත් වූවේය. මාස 3ක් වැනි කෙටි කාලයකදී දැක්වූ දක්ෂතා අනුව ජාත්‍යන්තර හෙල්ල විසිකිරීමේ ප්‍රමුඛ තරගකරුවකු ලෙස ඉස්මතු වූ රුමේෂ් තරංග මේ වසරේ ලොව හෙල්ල විසි කිරීමේ හොඳම පළමු විසිකිරීම, ලොව හොඳම දෙවැනි විසි කිරීම හා ලොව හොඳම තෙවැනි විසි කිරීම යන වාර්තා තුනම පිහිටුවා ඇත.

ලොව ඕනෑම මලල ක්‍රීඩා ඉසව්වක් නියෝජනය කළ ක්‍රීඩකයන් 25,000ක දක්ෂතා සැලකිල්ලට ගැනීමේදී ලොව 61 වැනි ස්ථානයට පත්වීමට රුමේෂ් තරංගට හැකියාව ලැබී ඇත. ලොව ප්‍රමුඛතම මලල ක්‍රීඩකයන් 61 දෙනාට ඉහළින් ආසියානු ක්‍රීඩක‍යකු ලෙස 53 වැනි ස්ථානයේ සිටින්නේ ජපානයේ මැරතන් ක්‍රීඩක ටොසිකාසු යමන්ෂි පමණි. ජපන් ක්‍රීඩකයාට අමතරව ආසියාවේ කිසිදු ජගතකු රුමේෂ් තරංගට ඉහළින් නැත. ලෝක ශූර ග්‍රෙනර්ඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් නවතම ලේඛනය අනුව හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකයේ තෙවැනි ස්ථානයේ සිටින අතර, ග්ලාස්ගොව් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උ‍ලෙළේදී රුමේෂ් තරංගට දෙවැනි වූ ඉන්දියාවේ නිරාජ් චොප්රා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකයේ 6 වැනි ස්ථානයට පත්ව ඇත.

රුමේෂ් තරංග මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා මාස 5ක් තුළ ලොව ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩා තරගවලදී රන් පදක්කම් 8ක් දිනා ඇති අතර, මේ හේතුවෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ වේගවත් දියුණුවක් ලබා ගත්තේය.

ඉකුත්දා ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රුමේෂ් තරංග මීටර 92.62ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර, එය 2026 වාරය සඳහා ලෝකයේ ඕනෑම තැනක වාර්තා වූ වැඩිම දුරක් හෙල්ල විසි කළ ලොව ප්‍රමුඛයා ලෙස වාර්තා පොතේ සටහන් තබා ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *