මැගසින් බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය සැපයූ නියාමකයෙකු අත්අඩංගුවට
බොරැල්ල මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සපයන බවට සැක කරන බන්ධනාගාර නියාමකයෙකු රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් හා හෙරොයින් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 20ක්ද සමග ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දෙහිවල, වෛද්‍ය පාරේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ ගල්කිස්ස ප්‍රදේශයේදී පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මැගසින් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින පුද්ගලයෙකු විසින් WhatsApp දුරකථන ඇමතුමක් මඟින් ස්ථානයක් පිළිබඳව තොරතුරු ලබා දුන් බවත්, ඒ අනුව මෙම මත් ද්‍රව්‍ය පාර්සලය එම ස්ථානයෙන් ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.
එම මත් ද්‍රව්‍ය පාර්සලය බොරැල්ල, වනාත පාරේදී තවත් පුද්ගලයෙකුට ලබා දීමට නියමිත බවත් පවසා ඇති අතර, එම සැක කරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිගේ ප්‍රධානත්වයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
එහිදී බන්ධනාගාර ක්‍රීඩා ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු සැකකරු අසලට පැමිණ මත් ද්‍රව්‍ය අඩංගු පාර්සලය ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී අවට රැක සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමක, පසුගිය ජනවාරි මාසයේදී මැගසින් බන්ධනාගාරයේ සේවයට පැමිණි අයෙකු බවත්, ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ නිරතව සිට ඇති බවත් සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

