අප්රකාශිත මතක අතරින් ඇසෙන නන්දාගේ ගී හඬ…
(ගාමිණී මුතුකුමාරණ)
ජීවිතය යනු මතකයන්ගේ එකතුවකි. ඇතැම් මතකයන් කාලයේ වැලි තලාවට යටවී ගියද, තවත් සමහර මතකයන් සදාතනික මතක සුවඳක් ඉතිරි කරමින් හදවතේ රහසින් රැඳී පවතියි. සංගීතයේ ආසියානු අභිමානය වූ නන්දා මාලනී නම් අසහාය ගාන්ධර්විනිය අපෙන් සමුගන්නා මොහොතේ, මගේ සිත ගමන් කරන්නේද කාලයේ වැලිතලාවෙන් යටවූ ඒ සොඳුරු අතීත රාවයන් වෙතටයි.
එය 1983 වසරේ මුල එක්තරා අලංකාර උදෑසනකි. අපි රතු පැහැති ඩබල් කැබ් රථයෙන් වැල්ලවාය සිට බුත්තල පසුකරමින් මොනරාගල දෙසට ගමන් කරමින් සිටියෙමු. රථයේ රියදුරු අසුනේ සිටියේ සේපාල ලියනගේ සහෝදරයාය. අප සමඟ උදේනි සමන් කුමාර සහෝදරයාත්, නම අමතක එවකට බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහෝදරයාත් සිටියහ. රථයේ කැසට් යන්ත්‍රයෙන් නොනවත්වා වාදනය වූයේ නන්දා මාලනියගේ කැසට් පටයකි.
හදිසියේම පිටුපස අසුනේ සිටි රෝහණ විජේවීර සහෝදරයා සුපුරුදු මදහසින් මෙසේ පැවසීය.
“සේපාල සහෝදරයා දිගටම දාගෙන ඉන්නේ මේ කැසට් පටයමනේ… දැන් මටත් ඒක නැතුවම බැරි වෙලා…”
එසේ කියූ රෝහණ සහෝදරයා, ඒ ගීත එකතුවෙන් නන්දා ගායනා කළ “පිළිම නෙළා නැති විරුවන් පිරිසක්…” ගීතය නැවත නැවතත් අසන්නට ප්‍රිය කළ අයුරු මට අද මෙන් මතකය.
නන්දා මාලනී කිසිදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධව සිටියේ නැත. එහෙත්, ලංකාවේ පීඩිත පන්තියේ මිනිසුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරය ලෙස ඇය තුළ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ලොකු ගෞරවයක් සහ භක්තියක් තිබුණි. ඒ බැඳීම 1971 තරම් ඈත අතීතයකට දිවගිය එකකි.
මට තවත් එක් අපූර්ව සිදුවීමක් මතක් වේ. දිනක් කොළඹ නව නගර ශාලාවේ පැවැති අප්‍රේල් විරු සමරුවක, 71 දී සමගි පෙරමුණ ආණ්ඩුව විසින් මරා දැමුණු සොයුරු සොයුරියන් ගේ ඡායාරූප සහ සිරගෙවල් තුළදී නිර්මාණය කළ අත්කම් ප්‍රදර්ශනයක් පැවැත්විණි. නන්දා මාලනී එදින උදෑසනම එහි පැමිණියාය. අනතුරුව නන්දා අතිශය ශෝකබරිතව, ඒ ප්‍රදර්ශනය නැරඹුවාය. 1971 දිවිපිදූ ඒ සගයන්ගේ රූප දෙස බලන මානව දයාවෙන් පිරි ඕනෑම කෙනෙකුගේ හදවත කම්පා වන තරමට ඒ මොහොත සංවේදී විය.
ප්‍රදර්ශනය නරඹා ඇය සිය මෝටර් රථයට නැගී මීටර් කිහිපයක් යද්දී, ඉදිරියෙන් පැමිණි තවත් රථයක් දුටු සැනින් සිය රථය නතර කල නන්දා ඉන් බැස ආවාය. ඒ රථයෙන් පැමිණ සිටියේ රෝහණ විජේවීර සහෝදරයාය. රෝහණ සහෝදරයාට රථයෙන් බසින්නට පවා ඉඩ නොතබා, ඔහු සිටි පැත්තේ දොර අසලට ගිය නන්දා ඉතා ලෙන්ගතුව යම් කෙටි කතාබහක යෙදෙන අයුරු එදා නව නගර ශාලාව අසල සිට අප බලා සිටියෙමු.
එපමණක් නොව, ඇය අපගේ ‘විමුක්ති ගී’ ප්‍රසංගයට කළ උපකාරයන් ද අමතක කළ නොහැක. ඒවා හුදෙක් පීඩිත ජන හදවත් වෙනුවෙන් ගැයෙන ගීත බැවින්, තනු නිර්මාණ සහ අඩුපාඩු හදාගැනීමට ඇය නිහඬවම මැදිහත් වූවාය. ඒ නිහඬ කැපකිරීම් අපේ ඉතිහාසයට විචිත්රව ලියා තැබිය යුතු තරම් අගනේය.
නන්දා මාලනීය ගැන මේ යටගිය මතක අතරේ ලන්ඩනයේ පෝල් පීරිස් සහෝදරයා පැවසූ මේ කතාව ද මෙහිලා සටහන් කල යුතු තරම් වටී. පෝල් පීරිස් ජනතා විමුක්ති පෙරමුණේ පැරණි ලන්ඩන් ශාඛාවේ ‘ගිනිපුපුර’ කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකි. පෝල් යනු නන්දාගේ හිටපු ස්වාමිපුරුෂයා වූ ‘සුනෙත් ගෝකුල පීරිස්’ ගේ වැඩිමහල් සොහොයුරාය. පසුව ඇය සුනෙත් ගෙන් වෙන්ව සිටියද , ඒ පවුලේ අය සමඟ පැවති මානුෂීය සබඳතාව කිසිදා අතහැරියේ නැත. ලන්ඩනයට පැමිණි හැමවිටම පෝල්ගේ නිවසට ගොඩවැදෙන ඇය, ඔහුව ඇමතුවේ “මේ මගේ ලොකු අයියා” කියාය.
පෝල් මෙයට වසර කිහිපයකට පෙර සිය ඉතාලි ජාතික බිරිඳ වූ ලුයිෂා සමඟ ලංකාවට ගිය මොහොත පිලිබඳ අද සැන්දෑ යාමයේ ඔහු මා හා මෙලෙස සිහිපත් කළේ දැඩි ශෝකයෙනි.
“සහෝදරයා, මමයි ලුයිෂයි දෙන්නා පසුගිය කාලෙ ලංකාවට ගිය වෙලේ නන්දා බලන්න ගියා. නන්දා අපිට හුඟක් ආදරයෙන් සංග්‍රහ කළා. ලුයිෂා වෙනුවෙන්ම ලංකාවේ විශේෂ කෑම වර්ග ගොඩක් සූදානම් කරලා තිබුණා. අපි එන්න සූදානම් වෙද්දී, නන්දා ඇගේ සර්පිනාව වයමින් ලුයිෂා වෙනුවෙන් ලස්සන සින්දු දෙකක් කිව්වා. ලුයිෂට භාෂාව නොතේරුණාට, නන්දාගේ ඒ ගීතාත්මික හඬත් සංගීතයත් එයා ගොඩක් රස වින්ඳා…”
“බුද්ධානුභාවේන සිත් මෙත් පහන් වී…
මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ…”
එදා ඇය සර්පිනාව වයමින් ගැයූ එක ගීතයක් බව පෝල් ගේ මතකයේ ඇත.
ඒ අතර ඔහු තවත් දෙයක් කීවේය.
“සහෝදරයා, මම මේ අගෝස්තු 23 වැනිදාට නන්දට කතා කරන්න බලාගෙන හිටියේ… එදාට එයාට අවුරුදු 82 ක් ලබන නිසා… මටත් දැන් අවුරුදු 90ක් වෙනවා…” පෝල් ඒ වචන පැවසුවේ තරමක හැඟීම්බරවය.
එහෙත්, ඒ සුභ පැතුම තවදුරටත් ඇයට ලබා දීමට කාලය ඉඩ තැබුවේ නැත….
නන්දා මාලනී යනු හුදෙක් ගායිකාවක පමණක් නොවේ. ඇය අරගලයක හද ගැස්මය, පීඩිත ජනතාවගේ නිහඬ කඳුළය, නොමියෙන මනුෂ්‍යත්වයේ සංකේතයයි.!
ගීතයේත්, මනුෂ්‍යත්වයේත් අසමසම සලකුණ වූ නන්දා මාලනී සොයුරියනි… ඔබට අමරණීය සුබ ගමන්!!!
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

